Skip to main content

සඳුද අවදියෙන්


ප්‍රේමයට ලඟම නෑයා විරවයි කියා මා තර්කයක් ගෙනෙයි නම් ඔබ එයට එකඟයිද? මාගේ විශ්වාසය අනුව මේ එකිනෙකට පරස්පර චිත්ත වේගයන් දෙක අතර ඇත්තේ අල්ප මාත්‍ර දුරස් බවකි. එමෙන්ම අර්ථ පූර්නය කල නොහැකි බොහෝ දේ මේ වදන් දෙක අතර සැඟවී ඇති බවත් කිසිවෙකුට නොරහසක්. කෙසේ වෙතත් ආදරය යන මානව හැගීම සනතර්පනය තුල බිහි වූවාට වඩා විරහවේ වේදනාව තුල වඩා විශිෂ්ඨ කලා නිර්මානයන් ලොවට දායාද වූවා යැයි මා තවත් විශ්වාස කරන කරුණකි.
ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ, ගීතයේ ප්‍රවිශ්ඨයට ප්‍රථම මට සිහි වන බුදු වදනකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. මදකට මා මෙලෙස උපකල්පනයක් ගොඩ නැඟුවොත්.
“දැඩි ලෙසින්ම ප්‍රේමයෙන් බැඳුනු යුවලක්, එක් අයෙකුගේ වියෝ වීමක් කෙසේ දරා ගනීද? එය ඔවුන් විවාහ පත් වූ අළුත සිදුවී නම් කෙතරම් සෝචනීයද? තමන් දැඩිව පෙම්කල තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේම වන්තිය වෙනුවෙන් ඔවුන් කොයි තරම් නම් සිත් තැවුලකට පත් වෙයිද? මා විශ්වාස කරන අයුරින් මෙම පද වැලේද මූලික හරය ගලා යන්නේ එවන් අවාසනාවන්ත ඉරනමකට මුහුන දුන් අවාසනාවන්ත තරුනයෙකුගේ ශෝඛාකූල චිත්ත වේගයන්ගේ ව්‍යාකූල වූ හැසිරීම හරහායි.

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...//
ඇය හා පෙමින් බැඳි ඔහුගේ ජීවිතයේ වසන්තය උදා වන්නේ ඇය සමඟ විවාහප්‍රාප්තියෙනි. නමුත් ඔහුගේ උදා වූ වසන්තය ඉතා කෙටි කාලයකට සීමා වෙයි. ඇයගේ වියෝවත් සමඟ ඔහුට ජීවිතයේ උදා වූ වසන්තය තුල තනි වන්නට සිදුවෙයි. නමුත් එය ඔහුට දරාගත නොහැකි වේදනාවකි. නිදි දෙවුදුව ඔහු අසලට නොපැමිනෙයි. ඒ වෙනුවට සඳු හා තරු පමනක් මේ ගෙවෙන නිශාන්තය තුල තනි වූ ඔහු සමඟ අවධිව සිටී.
සීතල ඇතිරුනි මිහිරිය ලය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා..
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙක.
ඔබලඟ නැතිවම අද මා තනිවම..
මෙහිදී ඔහුගේ බිරිඳගේ වියෝවීම පිලිබඳ පලමු ඉඟිය සපයයි. පෙම්වතියගේ උනුසුමින් පිරි ලය මඬල සීතල වී යාමත් සමඟ ඔහුගේ මනසේ ඇතිවන ව්‍යාකූල බව මෙයින් මතු කර පෙන්වයි. කොඳ කෙමි තුල මධු ඇති බව සැබෑය. එහෙත් පිපිරී යන තරම්? ඇත්තෙන්ම මේ අවස්ථාව තුල ඔහුගේ සිතේ වූ වේදනාව නිසා ඔහු මධුවිතින් උනුසුමක් සොයා නිශ්පල වෑයමක් දරයි. කෙසේ නමුත් ව්‍යාකූල මනසකින් යුතු ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ වේදනාවෙන් පිරුණු මතකයේ දරාගත නොහැකි පීඩනය නිදහස් කර ගැනීම මිස අන් ආශ්වාදයක් නොවෙයි.
පහන් නොදැල්විනි ඔබෙ පැල්පත තුල
නිදිමත අඩනෙතු පිය සනහා..
මගේම කඳුලක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල්පෙති මත..
මා සිතන අයුරින් ගීතයේ මේ කොටස තුල කථාවේ මෙතෙක් නොකී තවත් සංවේදී හැඟුම්බර පැතිකඩක් විවර කරන්නට උත්සාහ දරනවා වැනිය. ඇත්තෙන්ම ඇයගේ වියෝවෙන් පසුව ඔහුගේ කැදැල්ල තුලට වෙනත් ආලෝකයක් ඔහු පතන්නේ නැත. එතරම් ඔහු ඇගේ අතීත මතකයට පෙම් බඳී. කෙසේ වෙතත් ඇය මිය යන විට ඔහුට ඇයගේ මතකය සමඟ නිතැතින්ම එක් විය හැකි ද්වාරයක් ඇය විවර කර දී ඇත. ඒ ද්වාරය අභියස සිටින්නේ පුංචි මල් කැකුලකි. ඇත්තෙන් සුරතල් දරු සිඟිත්තෙකි. ඔහුගේ විඩාබර දෙනෙතට මදකට හෝ ආශ්වාදයක් ගෙනෙන්නට ඇය කෙරෙන් ඔහුට උරුම වූ මේ දායාදය සමත් වෙයි.
ඉතින් මේ අපූරු පද වැල් ගෙතුම ප්‍රියනන්ද විජයසූන්දර මහතාගේ අතිනි. සංගීතය හා ගායනය යන දෙකම විශාරද අමරසිරි පීරිස් මහතාගෙනි.

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...