Thursday, October 6, 2016

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.



මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි.

මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි.


පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව" ජීවන අත්දැකීම් හඹා යන පාසල් සමය තුල "තාවුල්ලේ ඇති වන මඩ ගොහොරු වන්" නරක දේ මගහැර ඉදිරිය කියාපෑ ගුරුවරුන් හෝ ගුරුවරයෙකු අප සැමට වෙයි. මේ එවන් ගුරුවරයෙකු පිලිබඳවය. එවන් වූ ඇදුරානන්ගෙන් සික්ශාව ලදුව සමාජයේ උසස් තැන් වල වැජබෙන ගෝල බාලයන් කොතෙකුත් වන්නට ඇතිද. නමුත් අවාසනාවට  ඉහලට නැඟි ඉනිමඟ අමතක වීම සමාජයේ සුලභ දෙයකි. ඇතැම් විට සමහරෙක්ට තමන් සිප් සතර කලා වූ ග්‍රාමීය පාසලේ නම කීම පවා අවමානයක් වන බව අප අමතක කල යුතු නැත.  එවන් මූසිලයන් උඩු මහලේ වැජඹුනද උතුම් ගුරුවරයාගේ කාර්යබාරය නිමාවක් නොදකී. එතුමන් තව දුරටත් ඊලඟ පරම්පරාව වෙනුවෙන් සික්ශාවන් ලබාදෙයි.

සාමා අමර විකුණති බස් පොළේ කජූ
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

මේ කොටස තුල මහින්ද මහතා ගීතයේ අරුත තුලින් තවත් වෙනම වූ සමාජ ඛේදවාචකයක් මතුකිරීමට උත්සහ දරන සෙයකි. "සාමා, අමර,". පාසල් ජීවිතය ආරම්භයේදීම පෙල පොත් තුලින් අප හමු වූ මේ මිතුරන් දෙදෙනා සැමගේ මතකයේ තවමත් ඇතැයි විශ්වාස කරමි. ඉතින් මේ "කජු විකුණන්නා වූ සාමා අමර" ආරෝපනය තුල එතුමන් මතු කරන්නේ පසල් අවධිය වෙත පා නැඟු දරිද්‍රතාව තුල අසරණ වූ දුප්පත් ලමුන් පිලිබඳව බව මා දරණ අදහසයි. එසේම ඒ පාසල් අවධියටද පලමුව අපට හමුවූ කුමාරෝදය පොතෙහි පිටු ඔවුන් විසින් කජු සමඟ දන්දෙන්නේ උගත මනා ශිල්පය පිල්කඩටම ඇද වැටෙමින් තිබියදී නොවෙයිද?
රන්මසු පට පිළී අබරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් ගීතයේ තුන් වැනි අන්තරා කොටස තුලද අරුත ගෙන යන්නේ තවත් එක් ඛේදනීය අන්තයක් ඔස්සේය. මේ උතුම් වූ ගුරුවරයාට විවාහ පත් වන වයසේ දියනියක් වෙයි. එහෙත් අප ඇදුරානන් රැස් කල වත්කම මිල මුදල් නොවෙයි. එබැවින් ඇයට කන කර, රන් අභරණ අහිමිය. දෑවැද්ද නොහාත් දායාද අහිමි ඇය ගුරු නිවසේම මිලින වී යයි. මේ වන විට ගුරු නිවස කඳුලින් පිරෙන්න අනෙක් කාරනය ඇදුරානන්ගේ ප්‍රිය බිරිඳගේද වියෝව බව ගීතය තුලින් මතුව එයි. එය හදෙහි එක් කරන්නේ සියුම් වූ කම්පණයකි.

ඉතින් ස්තූතියි සැමට.

ගීතය වෙත.
 https://www.youtube.com/watch?v=k5BDCW4Qszw