Saturday, October 23, 2021

Ajeeb Daastaan Hai Yeh
Kahan Shuru Kahan Khatam

මෙය පුදුම කථාවකි, කොහෙන් අරඹන්නද, කොතනින් අවසන් කරන්නද,

Pardesiya yeh sach hai piya
.
Sab kehte hain maine tujhko dil de diya

පිට දේශකයානෙනි, මෙය සත්‍යයි ප්‍රියය,
සැවොම කියාවි මා නුඹට මගේ හදවත පුදකල බව.

ලතා ජී, ඇත්තෙන්ම මා මගේ හවදත ඔබට පුදකර හමාරය, ඒ සදා කල් නොමියෙන හඬ මාධුර්ය කන වැකෙන සැම කලෙක මා නැවත නැවතත් මුසපත් වෙමි. අවු 87 ඉක්මවන එහෙත් තාරුන්‍ය අල්ප මාත්‍රයකින් අඩු නොවුනු ඒ හඬ කෙරෙහි ඇති ඇල්මද සදාතනිකය. 1997 ඇගේ සජීව ප්‍රසංගයේ සංයුක්ත දර්ශන ඉතා පරෙස්සමෙන් තවමත් මා සංතකයේ සුරක්ශිත ව ඇත්තේ ඒ හඬ කෙරෙහි ඇති ඇල්ම නිසාමය. කාජල්, තාබු, මුම්ටාස්, රේඛා, හේමා මාලිනි, ශ්‍රී දේවි, නාගිස්, මධුරි, ජායා බච්චන්, මනීශා ආදී මෙකී නොකී අති විශාල රංගනියන් පිරිසකට ඇගේ හඩ ජීවය සපයමින් සමපාත වන අයුරු වරෙක මා හට පුදුම සහගතය. මා යම් වරෙක අසා ඇති සැටියෙන් භාශා 32කට වැඩියෙන් ඇය ගීත ගායනා කර ඇත. ඇය ඉංදියාවට හිමි වූ නමුත් ඉංදියාවට පමණක් අයිති නොවූ මුළු ලොවටම අමිලතම වූ සම්පතක් මිහිරි ගී රාවය ලතා මංගේෂ්කාර් කෝකිලාවන් ම වෙයි.


Wednesday, August 15, 2018

රෑ සුපිපි ඉඳුවරී



ඉඳුවර නොපිපෙනා ගොම්මන පැමිණි සඳ
විකසිත වුනා වූ ඉඳුවර කැකුල            නුඹ
අවසර නොමැති රෑ අඳුරට පෙමින්       බට
නුඹෙ රොන් කෙරෙන් බිඟුනට නම් වේද පල

අළුයම පතිත හිරු කිරනක පහස        ලඟ
රුසිරෙන් දැවුනු නුඹ සියපත් දුටින        සඳ
මධු රොන් පිරුනු මල් කෙමි මැද බඹර කැල
රැඟුමන් නොපාවිද තුටු සිත් කෙරෙන්   බට

Wednesday, August 23, 2017

මින්දද හී සර ‍වැදී සැලෙන හද

ප්‍රේමය හා රාගය, ඊට මා අරුත් සපයා දීම අපහසු සොඳුරු, සමගාමී චිත්ත ස්වරූපයන් දෙකක් යැයි කිව හොත් ඔබ එකඟ වනු ඇතැයි සිතමි. සැබැවින්ම නුරාව මද පමනින් මුසු වූ ප්‍රේමය තරම් සිංහල සාහිත්‍ය වෙත සොඳුරු, ප්‍රසන්න සංකල්පයන් උත්පන්න කල තවත් යමක් එක වර මසිතට නොනැඟෙයි. කෙසේ නමුත් කලකට පසු අරුත වෙත යමක් ලියන්නට මා සිතුවිලි අවධි කල මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කරන ලදුව ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයකි. ඒ අන් කවරක් වත් නොව "මින්දද හී සර" ගීය වෙයි.
වර්ථමානය කෙසේ වෙතත්, මෙය අපේ හෙල සුභාවිතය යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුය. එ තුල කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවය. සැබැවින්ම ඇතැම් තැන්හි නිර්මාපකයා විසින් ඔහුට ගෙන ආ යුතු අධික ශෘංගාරය පවා ව්‍යංගය තුල සඟවා සොභා දහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශණිය ලෙසිනි. ඇත්තෙන්ම සොභා දහම සමඟ බද්ධ වූ එවන් කලාවේ රසය මෙය යැයි අරුත් සැපයීමට මා අපොහොසත්ය. නමුත් මේ ගීතයේ පද වැල් අතරින් මා උකහා ගත් රසය මදකින් හෝ ඔබට සමීප කරන අටියෙන් මෙසේ සටහන් තබන්නම්. මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ  ...// ගම්බද තරුණ යෞවනයෙකු වෙතින් තරුණියක කෙරෙහි උත්පන්න වන ප්‍රේමණීය ආලවන්ත කමක් ගීතයේ මූලික ලෙසම සේයා කරයි. සැබැවින්ම එ තුල තව දුරටත් ඔහුගේ තරුණිය වෙත වන ප්‍රේමණීය බලාපොරොත්තුවක් මෙන්ම ප්‍රේමනීය ආරාධනයක්ද සිත්තම් කරන්නේ අතිශය සෞන්දර්යාත්මක බවින් යුතුවය. චන්දන මල් අතුරා ඇති යහනට( ඔහු මනෝ භාවයන් තුල ගොඬනඟා ගත් මංගල යහනාවට) "කන්ද කපා පායන් රන් පුන් සඳ". කන්ද කපා, නැති නම් කන්ද මුදුනෙන් එක් වරම පායා එන පුන්සඳේ ප්‍රභාවේ ආකර්ශනය පිලිබඳ නැවත කිව යුතු නොවේ. එලෙසින්ම කවියන් සඳ තරමින් යුවතිය උපමා කල වෙනත් වස්තුවක් නොමැති තරම්ය. ඉතින් මේ තරුණයාගේ ඇරයුම, නැතිනම් අභිප්‍රාය කන්ද කපා පෑයූ පූර්න සඳ විලසින් ඇයව මංගල සයන මත දැකීම නොවෙයිද? තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ  ...//
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා මා පෙර තැනක සඳහන් කල ලෙසින්ම මඩවල එස් රත්නායකයන් සොභාදහම සමඟ ගීතය අනුබද්ද කල අයුරු අතිශය සෞන්දර්යාත්මකය. "තුරඟෙකු පිට නැඟි නීල වලාකුළු, ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ." ඇත්තෙන්ම මේ තුල අපූර්ව ලෙස ගෙනෙන්නේ තුරඟෙකුගේ වේගයට සමව ඉක්මනින් ගුවන් ගැබෙන්, නෙත්මානයෙන් ඔබ්බට සැඟව යන නිල් අහස, නැති නම් සරල බසින්ම කියනවා නම් සන්ද‍්‍යාවේ උදා වීම පිලිබඳවයි. එලෙසින්ම උදා වන සන්ද්‍යාවේ තරුණයා කෙරෙන් පිබිද එන සොඳුරු සිතුවිලි වල අපූර්වත්ය ගීතය තුල මතු කර ලන්නේ ශ්‍රාවකයාගේ සිත වෙතද ප්‍රසන්න හැඟමන් මුදාලමිනි. මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා  ...//
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා ගීතයේ අවසාන භාගය තුලද තරුණයා විසින් ඇයට ගෙනෙන ඇරයුමේ නැති නම් ඔහුගේ බලාපොරොත්තුවේ තිර භාවය නැවත සපථ කරන්නා සේය. අනාගතය වෙනුවෙන් ඔහු ඇයගේ නෙතු වලින් ආලෝකය අයැද සිටී. එතුල ජීවන ගමනට ඇය සහකාරිය වීම ඔහුගේ අති මහත් වූ බලාපොරොත්තුවම වෙයි. එසේ නම් නැවත වරෙක හමු වන්නම්. ස්තූතියි....!! ගීතයට සවන් දෙන්න. https://www.youtube.com/watch?v=GYZjtqfRyGo

Wednesday, May 3, 2017

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා



ඉතින් මෙය සමන්ත පෙරේරා මහතාගේ ප්‍රේමණිය සංගීත තත් අතර ප්‍රභාමත් වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ආකර්ශණීයතම පද වැලකි.  අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬ තුල ඊට සපයා දෙන ජීවය අතිශය හැඟුම්බර වේ. කෙසේ වෙතත් එක්තරා අභිනව විවාහකයෙකුගේ (යෝජිත විවාහයක) සංවේදී කථා හරයක් ඔස්සේ ගලා යන පද වැල තුල ගොනු වන්නේ තම විවාහක බිරිඳගේ හිතුවක්කාර හැසිරීමක් පිලිබඳවයැයි මා අදහස් කරමි. බොහෝ විට විවාහප්‍රාප්ත ඇය තම අතීත ප්‍රේමයක සුන් බුන් අතර හිඳිනවා වන්නට ඇත. 

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

විවාහය තුල යුවලක් එක් අයෙකු බවට පත් විය යුතුය. එකිනෙකාගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කල යුතු වේ. එමෙන්ම යම් සීමාවන් තුල රැඳී කටයුතු කිරීම, ප්‍රේමයේ බැඳීමක අනිවාර්ය නියතයක් වේ. ඔහු ප්‍රේම කරන තම ප්‍රිය බිරිඳ ඒ කියන්නා වූ නියතයන් අභිබවා ඔහේ පියා සලා යයි නම් ඔවුන් අතර ඝට්ටනයක් ඇති වීම ස්භාවිකය. කෙසේ නමුත් මේ විවාහක ප්‍රේමවන්තයා ඇයට යථාර්ථතය නැමති මහපොලව මත ඔහුගේ ප්‍රේමයේ ආලින්දයේ නවාතැන් ගන්නට යැයි ඇයට කරන ඇරයුමක සේයාවකි. (ආලින්දය යනු නිවසක ඇති සුන්දරම ස්ථානයයි, ගීය තුලද ප්‍රේම ආලින්දය නම් යෙදුම ඔහුගේ ප්‍රේමයේ සොඳුරු බව මනාවට මතු කරන වග මගේ අදහස වේ)

කෙසේ නම් මම නවත්වන්නද

මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ

පෙම්වතා දැඩිව අසරණ ව ඇත. ඇය මේ පියාසලන තෙත සිඳී ගිය ඔහු වෙත අකාරුනික වූ බොල් සිහින සුලඟ කෙතරම් පීඩාකාරී වන්නට ඇත්ද? හියුඩු පිපෙන්නට තරමින් හිත කීරි ගැස්වෙන, සෙනෙහසේ මල් රේණු සැලෙන්නට තරම් රුදු වූ ඇගේ මේ පැතුම් අහස යට කෙසේ නම් ඔහු නිර්ව්‍යාජ ප්‍රේමයක් තමන් සතු කරගන්නද. ඇත්තෙන්ම එය ඔහුට අමිහිරි කටුක සංවේදී අත්දැකීමක් වන්නට ඇත.

නෙළූ පලවැල මග දමන්නද

දෙපා උඩුකුරු
හිසින් බිම හිඳිනා

කුරුළු බිලිඳු
හෙලන කඳුළු

මහමෙරක් යට
තනිව මා උන්නා
විවාහය නම් ඔවුන් ආ මඟ සම්මතය තුල නැවත හැරවිය නොහැක.  එසේම විවාහ වූ ඔවුන්ගේ කැදැල්ලට දරු පැටියෙකුගේ ආලෝකය ලැබෙන්නටද ඉතා ආසන්නය. 
නමුත් ඇය වෙතින් උත්පන්න වන ව්‍යාකූල තත්වය නිසා වූ සංවේගය පද පෙල තුල නූපන් දරුවාගේ කඳුළු හරහා තවත් තීව්ර කර මතු කරයි. (දෙපා උඩු කුරු හිසින් බිම හිඳිනා = පුංචි දරු පැටියෙකුගේ හිස යටට පිහිටන කලල රූපී අවස්ථාව මින් මතු කරයි) 

එසේ නම් යලි වරෙක මුනගැසෙමු. ස්තූතියි...!!

Wednesday, February 15, 2017

හෙවනැලිද ඉකිබිඳී


ඇත්තෙන්ම මෙම ගීතය ඉතා මෑතකදී අහම්බෙන් මෙන් මා සවනත වැකුනු සොඳුරුතම ගීයකි. ඇසූ ප්‍රථම වර වුවද සුනිල් ආරියරත්නයන් අතින් නිමැවුනු එහි පද වැල හා නන්දාමාලිනී මහත්මියගේ භාවාත්මක සුගායනය මා සිතෙහි ඇතිකලේ ශෝඛි රසය මුසු ප්‍රකම්පනයක් යැයි කිවහොත් එය අතිශෝප්තියක් නොවෙයි.

එසේම මේ තුල මතු කෙරෙන අන්තර්ගතය තුල තමන් අතින් සිදුවූ වරදක් හේතුවෙන් මංගල දිනය දා අසරණ වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා දක්වයි,

හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ
ගහකොළ ද පණ අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්


ඝන අඳුර තුල සෙවනැලි නම් කොහි තිබිය හැකිද? නමුත් මේ තුල කියාපානු ඇත්තේ මා පෙර කී යුවතියගේ, අතීතය නම් අඳුර තුල සැඟව ගිය සෙවනැලි වන් ස්මරණයන්ගේ වර්ථමාන විලාපය නොවියහැකිද. එසේම එවන් අවස්ථාවක ස්භාවධර්මයේ ගහකොල පවා බිම වැතිර පණ අදිමින් මේ මතුකරලන්නේ ඇගේ සසල වූ සිතෙහි වන අති මහත් පිඩාවේ ස්වරූපය නොවෙයිද. මෙවන් මොහොතක ඇය සිය ස්වාමීයාගෙන් අභය ඉල්ලනවා හැර අන් කුමක් නම් කරන්නද "සෙවනැලි පවා ඉකි බිඳ හඩන, ගහ කොල පවා කම්පිතව සසල වන." ඇත්තෙන්ම, මංගල දිනය තුල එවන් ඛේදනීය ඉරණමක හිමිකාරියක වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා පාන්නට මෙතරම් සංවේදී ආරෝපනයන් තවත් නම් විය හැකිද? සුනිල් ආරියරත්නයන්ගේ සුවිශේශීත්වයද එයම වේ.

ගිරි හිසින් උදා වූ මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළි රැවු වියැකෙයි
මුණින් තලාවේ සුධවල යහනත 
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන්
"ගිරි හිස සිප උදා වන මධු සඳක්, වන හිස සිසාරා ආ පිළි නදක්," නියත ලෙසම මේ ආරෝපනයන් තුල මනස තුල චිත්‍රනය කරන චිත්ත රූප අතිශය ප්‍රසන්නය. එසේම ප්‍රේමණීය වේ. නමුත් ඇගේ ජීවිතය තුලින් මේ කියන්නා වූ විචිත්‍රවත් බව වියැකී යමිනි. ස්වේත වර්ණිත මංගල යහන මත සොවින් තැවෙනා ඇයට ප්‍රේමයේ නාමයෙන් එක් වූ මැකිය නොහැකි අඳුරු සලකුනකි.

කුළුඳුලේ පිපී ආ මධු මල මැලැවෙයි
දොළ දිගේ ගලා ආ දිය වැල බොරවෙයි
පිදූ පාපයෙන් හද සැලමුතු පෙම
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන් 


ඇය සත්ත්‍ය ලෙසම තම අතගත් ස්වාමියාට ප්‍රේම කරනවා වන්නට ඇත. එය හදවතේ වූ ගැඹුරුම තැනක සිට වන්නටද ඇත. නමුදු ඇය කලෙක ලදුවා වූ කැලල හමුවේ ඒ ප්‍රේමයේ පුෂ්පයට තව දුරටත් විකසිත විය හැකිද, සුනිමල දිය ලෙසින් දොල පහරක් සේ මේ මොහොත දක්වා ආ මග මංගල යහන මත බොර වී හමාරය, ඇය වරෙක සැලමුතු පෙම තුල (ප්‍රථම පෙම) කලා වූ පාපයන් නිසා ස්වාමියා ඉදිරියේ මැරි මැරී උපදින්නට තරම් කටුක චිත්ත පීඩාවකට උරුමකම් කියයි.  ඇත්තෙන්ම අප මුල් බැසගත් සංස්කෘතිය තුල යුවතියකගෙන් එවන් වටිනාකම් ගිලිහුනිනම් ලබන්නට වෙන නින්දා, අවලාද කොතෙක්දැයි මා නැවත සිහි කල යුතු නැත.

ඉතින් එහෙනම් අවසරයි...!!

ගීතය වෙත...
https://www.youtube.com/watch?v=zQ48-ITh_o0

Friday, December 2, 2016

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ


මෙම ගීය බන්දුල නානායක්කාරවසම් මහතා අතින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් රචනා වන තවත් සුවිශේෂී ගීතයකි. එහි මියුරු සර රෝහණ වීරසිංහයන් අතිනි. එක්තරා පෙම්වතෙකු විසින් තම යුවතියක වෙත කරන්නා වූ සදාදරණීය ප්‍රේම යෝජනාවක් මෙන්මෙ බලාපොරොත්තුවක සේයාවන් පිලිබඳ මෙහි අරුත තුල දෝලනය වන බව මගේ අදහසයි.

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

ගීතයේ පලමු කොටස තුලම ඇයව විශ්වාසණීය බලාපොරොත්තුවක් වෙත ගෙනයන්නට පෙම්වතා උත්සුක වන සෙයකි. නිම් හිම් නොපෙනෙන, නොයෙක් විශ වලින් ගහන මිනිසුන් පිරි සමාජය තුල ඔහුගේ රැකවරණය අභියස ඇයට දොම්නසක් නොවන වත පිරුනු සිනහව රැඳෙනු දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි, නැතහොත් ඇගේ සිනාව ඔහුගේ නවාතැනයි. සත්‍ය ලෙසම ඔහුගේ පරම අභිලාශය ඇගේ සතුටයි. ඉතින් එවන් ප්‍රේමයක අරුණු උදා නොවේ යැයි කිව හැකිද.
"ගීතයේ දෙවන පද පෙලෙහි සපුන් යන්න වෙනුවට සතුන් යන්න යෙදුවද තනුව හා සමපාත වන නමුත් එය සපුන් ලෙස ගැනීම තරමක් දුරට අරුතේ හැසිරීම වඩා තීව්ර කිරීමක් බව මගේ අදහසයි. සපුන් ලෙස ගන්නා මේ යෙදුම සර්පයන් ලෙසට නිර්වචන දිය හැක. සත්ව ලොකයේ ඇතැම් සර්පයන් යනු ශරීර ප්‍රමාණයට සාපේක්ශව මාරාන්තික විශ සඟවාගත් ජීවින් කොටසකි. එවන් වූ මතුපිටින් නොපෙනෙන වීශ ඝෝර මිනිසුන් පිරි සමාජයක ඇය වෙත පාන සෙනෙහසේ ස්වරූපය මේ තුල කදිම ලෙසින් නිරූපනය වෙයි.

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

ගඟක රැල් නැඟෙනුයේ පටු වූත් බාධක පර අතරින් ගලන්නා වූ කොටසකය. නමුත් ඒ වූ බාධක වලට ගඟේ ගමන නවතා ලිය නොහැකිය. ගඟ නියත ලෙසම සයුර සිප සැඟව යනු ඇත. මේ තුල ඔහුගේ ප්‍රේමයේ එකායන අධිශ්ඨානය නිරූපනය කරන්නාක් වැනිය. (ඇතැම් විට ඇය වෙත කරන්නා වූ පෙම් යෝජනාව තරමක ප්‍රභල වැඩි දෝ යැයි ගීතයේ මේ කොටස ඇසූ වරෙක මට සිතුණි)
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ
වනය තුල මුවන්ගේ සිල් බිඳෙනුයේ අනතුරක සේයාවකදීය. එතුල සියල් සත්වයන්ද කැලඹෙන්නේ නිරායාසයෙනි. නමුත් මේ කටුක ගමන් මග තුල ඇය වෙනුවෙන් නෙළු නොඉඳුල් ප්‍රේමයේ ඵලයන් බිම දමා යන්නට මේ පෙම්වතා සූදානම් නැත. සදාකාලිකව ඇගේ ජීවන ගමනේ විඩාව බෙදා ගැනීම ඔහුගේ ප්‍රේමණීය බලාපෙරොත්තුවයි. එවන් පෙමක තැවුල් නම් කෙසේ විය හැකිද?

Tuesday, November 22, 2016

මාරම්බරී


විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද?

මාරම්බරී.....

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය.

රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම් විය හැකිද? ඉක්බිතිව ඔහු ගෙනෙන මේ ඇරයුම ඇගේ කෝල මදහසින් උමතුව නොහිම් චිත්ත සන්තාපයන් නිවා ලන්නට නෙවෙයිද? අහෝ මා කෙසේ වනම්ද ඒ ශෘංගාරය පිලිබඳ.

එලෙසින්ම ගීතයේ අන්තරා කොටසෙහි අවධි වන ආලාප් කොටස හා ස්වර්ගම් ගායනය තුල එක් කරන රසය වන් රසයක් නව රැල්ලේ ගැයෙන "රැපක්" තුල පවතීදැයි මසිත නඟන්නා වූ පැණයකි. එසේම ගීතයේ සංගීත ඛන්ඩ අතර දීප්තිමත් වන මිහරි බට නලා හඬ හා ආකර්ශණිය තබ්ලා වාදනය මසිත එක්තරා දැහනක රඳවනවා යැයි කියන්නේ නම් එයද අතිශෝප්තියක් නොවෙයි. ඉතින් සුභාවිත ගීයක මධුර ලාලිත්‍ය මෙයම නෙවන්නේද?

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී... 
ආ..... ආ..... ආ...... 
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා...

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි
ප නි ස ග
නි ස ග ප නි ස නි ප ග ස නි
ප නි රි ස ස ග
ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ම ග ස නි
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

ගීතය වෙත
https://www.youtube.com/watch?v=xbLOIeJZlqw