විහඟ ගීතය නිහඬ ඇයි..?
1988- 1989 භීශන යුගය,...... විවිධ වූ දේශපාලන අරමුනු වෙනුවෙන් දහස් ගනනින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දිවි පිදූ ඒ අඳුරු යුගය ගැන ඔබ තුල යම් මතකයක් තිබෙයිද? නොඑසේනම් අසා ඇතිද? මිනිසෙක්ට තබා සතෙකුටවත් ඉහිලිය නොහැකි තරමේ වධ බන්ධනයන්ගෙන් පීඩිතව ටයර් සෑ මත පන පිටින් දැවී ගිය තරුණ තරුණියන් විලාපය කෙසේ වන්නට ඇතිද? සහෝදරයෙකුට සහෝදරයෙක්, දරුවෙකුට පියෙක්, බිරිඳකට සැමියෙක්, මවකට දරුවෙක් නැති කල ඒ පාපී ඉතිහාසය උනුසුම් ලෙයින් ලියා තබන්නට එවකට පාලකයන් හා නොමිනිසුන් ක්‍රියා නොකලා යැයි කාට නම් කිව හැකිද?
කෙසේ නමුත් මා යම් දිනක අසා ඇති තරමින් මේ ගීතයේ මූලික හරය සපයන්නේ, 1989 භීශන යුගයයි. තවද මෙම යුග ගීය සාමාන්‍ය තරුණියක හා වරෙක සටන වෙනුවෙන් කැප වූ තරුණයෙකු අතර ගොඩ නැඟෙන දෙබසක් යැයි මට හැඟේ. (මෙහි එන සියළු තර්ක මා ගොඩ නඟන්නේ ඒ මත සිටයි.)
විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
ඇය නඟන පැනයකි. එය එවකට තරුණයන් සමාජවාදී බල අරගයලයක් වෙනුවෙන් සටන් කල යුගයකි. එහිදී පෙරමුණ ගත් තරුණ තරුණියන් හඬ නැඟුවේ සමාජයේ යහ පැවැත්ම උදෙසා මිස පුත්ගලික යහ පැවැත්මක් උදෙසා නොවෙයි. මෙහි එම හඬ නැඟුම ඇය විහඟ ගීතයක් ලෙස ඉදිරි පත් කරයි. එහෙත් එම නිර්ධන පංතියේ නැගී ආ හඬ මැඩලීමට එවකට පාලකයන් කටයුතු යෙදූ බව කාටත් නොරහසකි. එවකට කථා කිරීමේ නිදහසක් පවා නොතිබූ යුගයක් බව අප අමතක නොකල යුතුය. ඇයගේ “කියනු මැන කොඳුරා“ යන යෙදුම තුල ඒ බව මනාව වටහා ගත හැක.
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා
ඇත්තෙන්ම එවකට නිර්ධන පංතියේ තරුණ තරුණියන් දහස් ගනනින් මේ බල අරගලය වෙනුවෙන් දිවි පුදා ඇත. ඔවුන්ගේ, ඇය පැවසූ විහඟ ගීතය ඇස් මානයෙන් නොපෙනෙන සිර කුටි වල සැඟවී වී නිහඬ සුසුමක නැවතී ඇත. මෙය ඔහු ඇයට පවසන්නේ එලෙසිනි.
ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී
මේ තුලින් එවකට සමාන්‍ය ජන සමාජය තුල වූ භීතිය මෙයින් කියා පාන්නට ඇය උත්සාහ කරනවා වැනිය.
අඳුර රජවී අනේ දුනු හි ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී
පෙරමුණ තරුණයන් කෙරෙන් ආ ආලෝකය පරයා නැඟුනු පාලකයන්ගේ කුරිරු අඳුරු පාලනය, තවත් නැගී එන තරුණයන්ගේද හඬද ගොළු කර දමන්නට සමත් ව ඇත. එවකට මේ කුරිරු බව තුල සියල්ලන්ම බියෙන් ත්‍රස්තව සැඟවී නිෂ්ශබ්ද වී සිටින්ට වූ බව මෙහිදී අප අමතක කල යුතු නැත.
කඳුළු වගුරා පහුරුගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා
ඇය නැවත අසන පැනයකි. මේ තරම් වේදනා විඳ කෑ ගසා දිවි දී සොයා යන විමුක්තිය ගැන ඇය ප්‍රශ්න කරයි. නමුත් මොවුන් දිවි පුදා සටන් වදින්නේ වඩා යහපත් වූ සමාජයක වඩාත් උසස් වූ විහඟ ගීයක සුගායනයක් ඇති කිරීම වෙනුවෙන් බව ඇය දනී. (ප්‍රගීතය යන්නේ තේරුම “උසස් ගීතය මිහිරු ගීතය“ යන්නයි.)
පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ
ගීතය අවසානයේ ඔහු ඇයට ඇරයුමක් ගෙනෙන සෙයක් පෙනෙයි. මේ අඳුරු පාලනයෙන් මිදී වඩා නිදහස් වූ සමාජයක මිහිරියාව විඳ ගන්නට විහඟ ගීතය නැවත ඇති කිරීමට එක් වන්න යැයි ඔහු ඇයට කියනවා වැනිය.
කෙසේ නමුත් මෙම අපූරු පද මාලාවේ සිත්තම් කරුවා වන්නේ නිලාර් එන්. කාසිම් මහතායි. මියුරු සංගීතයේ දායකත්වය ඇත්තේ එච්.එම්. ජයවර්ධන මහතාගෙනි. මියුරු හඬ පෞරශවයේ උරුමකම් කියන්නේ, ප්‍රවීන ගායන ශිල්පීන් වන අමරසිරි පීරිස් මහතා සහ මාලිනී බුලත්සිංහල මහත්මියයි.
(මා ඉදිරිපත් කලේ, ගීතය මා අසා ඇති අයුරින් මගේ රස වින්දනයට ගෝචර වූ ආකාරය පමණි.)
ගීතය වෙත...
https://www.youtube.com/