Skip to main content

විහඟ ගීතය නිහඬ ඇයි..?


විහඟ ගීතය නිහඬ ඇයි..?

1988- 1989 භීශන යුගය,...... විවිධ වූ දේශපාලන අරමුනු වෙනුවෙන් දහස් ගනනින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දිවි පිදූ ඒ අඳුරු යුගය ගැන ඔබ තුල යම් මතකයක් තිබෙයිද? නොඑසේනම් අසා ඇතිද? මිනිසෙක්ට තබා සතෙකුටවත් ඉහිලිය නොහැකි තරමේ වධ බන්ධනයන්ගෙන් පීඩිතව ටයර් සෑ මත පන පිටින් දැවී ගිය තරුණ තරුණියන් විලාපය කෙසේ වන්නට ඇතිද? සහෝදරයෙකුට සහෝදරයෙක්, දරුවෙකුට පියෙක්, බිරිඳකට සැමියෙක්, මවකට දරුවෙක් නැති කල ඒ පාපී ඉතිහාසය
 උනුසුම් ලෙයින් ලියා තබන්නට එවකට පාලකයන් හා නොමිනිසුන් ක්‍රියා නොකලා යැයි කාට නම් කිව හැකිද?

කෙසේ නමුත් මා යම් දිනක අසා ඇති තරමින් මේ ගීතයේ මූලික හරය සපයන්නේ, 1989 භීශන යුගයයි. තවද මෙම යුග ගීය සාමාන්‍ය තරුණියක හා වරෙක සටන වෙනුවෙන් කැප වූ තරුණයෙකු අතර ගොඩ නැඟෙන දෙබසක් යැයි මට හැඟේ. (මෙහි එන සියළු තර්ක මා ගොඩ නඟන්නේ ඒ මත සිටයි.)

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

ඇය නඟන පැනයකි. එය එවකට තරුණයන් සමාජවාදී බල අරගයලයක් වෙනුවෙන් සටන් කල යුගයකි. එහිදී පෙරමුණ ගත් තරුණ තරුණියන් හඬ නැඟුවේ සමාජයේ යහ පැවැත්ම උදෙසා මිස පුත්ගලික යහ පැවැත්මක් උදෙසා නොවෙයි. මෙහි එම හඬ නැඟුම ඇය විහඟ ගීතයක් ලෙස ඉදිරි පත් කරයි. එහෙත් එම නිර්ධන පංතියේ නැගී ආ හඬ මැඩලීමට එවකට පාලකයන් කටයුතු යෙදූ බව කාටත් නොරහසකි. එවකට කථා කිරීමේ නිදහසක් පවා නොතිබූ යුගයක් බව අප අමතක නොකල යුතුය. ඇයගේ “කියනු මැන කොඳුරා“ යන යෙදුම තුල ඒ බව මනාව වටහා ගත හැක.

නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

ඇත්තෙන්ම එවකට නිර්ධන පංතියේ තරුණ තරුණියන් දහස් ගනනින් මේ බල අරගලය වෙනුවෙන් දිවි පුදා ඇත. ඔවුන්ගේ, ඇය පැවසූ විහඟ ගීතය ඇස් මානයෙන් නොපෙනෙන සිර කුටි වල සැඟවී වී නිහඬ සුසුමක නැවතී ඇත. මෙය ඔහු ඇයට පවසන්නේ එලෙසිනි.

ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී

මේ තුලින් එවකට සමාන්‍ය ජන සමාජය තුල වූ භීතිය මෙයින් කියා පාන්නට ඇය උත්සාහ කරනවා වැනිය.

අඳුර රජවී අනේ දුනු හි ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී

පෙරමුණ තරුණයන් කෙරෙන් ආ ආලෝකය පරයා නැඟුනු පාලකයන්ගේ කුරිරු අඳුරු පාලනය, තවත් නැගී එන තරුණයන්ගේද හඬද ගොළු කර දමන්නට සමත් ව ඇත. එවකට මේ කුරිරු බව තුල සියල්ලන්ම බියෙන් ත්‍රස්තව සැඟවී නිෂ්ශබ්ද වී සිටින්ට වූ බව මෙහිදී අප අමතක කල යුතු නැත.

කඳුළු වගුරා පහුරුගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා

ඇය නැවත අසන පැනයකි. මේ තරම් වේදනා විඳ කෑ ගසා දිවි දී සොයා යන විමුක්තිය ගැන ඇය ප්‍රශ්න කරයි. නමුත් මොවුන් දිවි පුදා සටන් වදින්නේ වඩා යහපත් වූ සමාජයක වඩාත් උසස් වූ විහඟ ගීයක සුගායනයක් ඇති කිරීම වෙනුවෙන් බව ඇය දනී. (ප්‍රගීතය යන්නේ තේරුම “උසස් ගීතය මිහිරු ගීතය“ යන්නයි.)

පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ

ගීතය අවසානයේ ඔහු ඇයට ඇරයුමක් ගෙනෙන සෙයක් පෙනෙයි. මේ අඳුරු පාලනයෙන් මිදී වඩා නිදහස් වූ සමාජයක මිහිරියාව විඳ ගන්නට විහඟ ගීතය නැවත ඇති කිරීමට එක් වන්න යැයි ඔහු ඇයට කියනවා වැනිය.

කෙසේ නමුත් මෙම අපූරු පද මාලාවේ සිත්තම් කරුවා වන්නේ නිලාර් එන්. කාසිම් මහතායි. මියුරු සංගීතය‍ේ දායකත්වය ඇත්තේ එච්.එම්. ජයවර්ධන මහතාගෙනි. මියුරු හඬ පෞරශවයේ උරුමකම් කියන්නේ, ප්‍රවීන ගායන ශිල්පීන් වන අමරසිරි පීරිස් මහතා සහ මාලිනී බුලත්සිංහල මහත්මියයි.
(මා ඉදිරිපත් කලේ, ගීතය මා අසා ඇති අයුරින් මගේ රස වින්දනයට ගෝචර වූ ආකාරය පමණි.)

ගීතය වෙත...
https://www.youtube.com/watch?v=Oyjp3ZNLdVY

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...