Thursday, March 10, 2016

බලන්න නන්දා...



බලන්න නන්දා...

අනිත්‍ය,.... ලෝ දහම තුල නොවෙනස් වන එකම ධර්මතාවය වෙනස් වීම (අනිත්‍ය)

පමණි. අද මේ මොහොත තුල ඔබ දැන් දකින මා තව මොහොතකින් ඔබට දැකිය නොහැකිය. ඔබ ගත කල ඒ එක් සුළු මොහොත පවා ගෙවී ගොසින් අවසන්ය. එසේම සියළු සංස්කාරයන් වෙනස් වන සුළුය. සියළු සංස්කාරයන් නැසෙන සුළුය. සුවඳ විලවුන්
තවරා රකින මේ පංචස්කන්ධය වුවද දිනෙක වැහැරී යයි. දිරාපත් වෙයි. අප මෙය
තේරුම් ගෙන කටයුතු කල යුතුය.

ඇතැම් විට මෙයද ඔබ නෑසූ ගීතයක් විය හැකී. මෙම හරවත් ගීය සමාධි සිතින් යුතුව විඳ ගන්නට යැයි මා ප්‍රථමයෙන් ඔබ සැමට ආරාධනා කරනවා.

ඇය නමින් නන්දා ය, අතිශය රූමත් මේ තරුණිය විවාහ වන්නේ එලෙසින්ම කඩවසම්
තරුණයෙකු සමඟයි. දින සති මාස අවුරුදු ගනනින් ඔවුන්ගේ ජීවිත ගෙවී යයි.
දැන් ඔවුන් මහළු සමයට පා තබා අවසන්ය. දිනක් මේ වියපත් මිනිසා තම වැහැරී
ගිය භාර්යාව දෙස බලා හිඳී. ඔහුට තම භාර්යාව හා පෙමින් බැඳි අතීතය
සිහිවෙයි. ඇයගේ වූ සුරූපී බව ඔහුට සිහි වෙයි. නමුත් කාලය සියල්ල සියල්ල
වෙනස් කර ඇත. ඇය දැන් මැහැල්ලකි. ඔහු ඇයව මේ වන විට දකින ආකාරය මේ ගීතයේ මූලික කථා තේමාවයි.

“ආතුරං අසුචිං ඵුතිං - පස්ස නන්දෙ සමුස්සයං
අසුභාය චිත්තං භාවෙහි – එකග්ගං සුසමාහිතං”

මේ ගීතය තරමක වෙනස් බවක් මට හැඟෙයි. ගීතයට ආරම්භයට පෙර ගාථා පාඨයක් යොදාගෙන ඇත. එයට පාදක වන කථා පුවත ඉතාම කෙටියෙන් මෙහි සඳහන් කරන්නම්.

බුදු හිමියන් විසූ කාලයේ නන්දා නම් සුරූපී තරුණියක් විය. ඇය ශාක්‍ය වංශයේ
තම සුරූපී බව පිලිබඳව යම් මදයෙන් ඔද වැඩුනු ස්ත්‍රියක් විය. ශාක්‍ය වංශික
රාහුල කුමරුවන්, නන්ද කුමරුවන්, මහා ප්‍රජාපතී ගෝතමිය, යශෝදරා දේවිය
අනුක්‍රමයෙන් පැවිදි බිමට එලබි පසු නන්දා නම් ඇය ද මහාප්‍රජාපතී ගෝතමිය
හමුවේ මහණ දම් පිරීමට එලඹිනි. නමුත් ඇයට පැවැදි දිවිය තුලද ඇගේ රූප
ශ්‍රියාව පිලිබඳ වූ අධි මාන්නය දුරු වූයේ නැත. නමුත් බුදු රජානන් වහන්සේ රූප
ශ්‍රියාවට ගරහන බව ඇය දැනසිටියාය. එබැවින් ඇය කිසි විටෙක බුදු රජානන්
වහන්සේ වෙත නොයා සිටියාය. මේ බව බුදු නුවනින් දැනගත් බුදු හිමියන් නන්දා
තෙරනියට තමන් හමුවීමට එන ලෙස දන්වා යැවීය. නන්දා තෙරණින් වහන්සේ ඒ අනින්
බුදු හිමියන් අභිමුවට පැමිණුනි. එවිට බුදු හිමියන් පසෙකින් ඉතාමත් අති
සුන්දර වූ ශ්‍රියා කාන්තාවක් වන් රුපයක් මවා ක්‍රමයෙන් ඇය මහළු වී වැහැරී
යන අයුරු නන්දා තෙරණියට පෙනෙන්නට සැලැස්වීය. එය දැක නන්දා තෙරණිය අනිත්‍ය
සියල්ල වටහා ගන්නට විය. එම අවස්ථාවේ බුදුන් වහන්සේ ඇයට දේශනා කල පෙර සඳහන් කරන ලද ගාථා පාඨයේ අරුත මෙලෙසයි.

“පින්වත් නන්දා, නිතර ලෙඩදුකින් පෙළෙන කුණු වී යන පිළිකුල් ශරීරය දෙස
නුවණින් බලන්න. සිත හොඳින් එකඟකොට පිළිකුල් භාවනාව වඩන්න. (මේ එම ගාථා
පාඨයේ අරුතයි.)

බලන්න නන්දා මේ උඹේ ගුහාවයි..
පර මල් අතුරන්න නන්දා මේ උඹේ ගුහාවයි...

ඉන් පසුව පැමි‍නෙන්නේ ගීතයේ ආරම්භයයි. වැහරී ගිය ඇගේ ශරීරය නැමති ගුහාව
මෙහිදී ඇගේ ස්වාමියා මැනවින් දකී. එහි වූ ලාලිත්‍යක් වටිනා කමක් මේ වන
විට නැත. එසේම පරමල් වලද ඇති පලක් නැත. මෙහද පරමල් යොදා අනිත්‍යයේ අරුත
තවිත් තීවර කර ඇත.

අක්බඹ මුහුලේ හැඩපලුව වැරහැලි වීයේ..
මල් සේ දෙතොලේ සුදුමැලිව පිපිහලු වීයේ...
මේ උඹයි නන්දා...
පර මලේ මකරන්ද ඇත්දා..?

අතීතයේ වූ ඇයගේ අක්බඹරු වන් හැඩ පළු ගැසුනු කොන්ඩය සුදු වී ඇදී ඉතරිව
විනාශ වූ කෙස් කළඹ පිලිබඳ ඔහු සිතන්නට වෙයි. මල් පෙති දෙකක වන් වූ ඇගේ
දෙතොලේ වර්ණවත් බව දැන් වියැකී ගොසිනි. ඇත්තෙන්ම ඒ ඔහුගේම නන්දා නම්
බිරිඳගේය. ඉතින් මේ පර වූ මලක බඳු ශරීරයේ වටිනාකම කුමක්ද යැයි මේ මහළු
ස්වාමිපුරුශයා සිතන්නට වෙයි. (අක්බඹ හැඩපළු මුහුල යනු කැරලි ගැසුනු කෙස්
කලඹ වෙත තවත් නමකි.)

කුඹු හස ළමැදේ තුඩු පර වියැදී ගියේ...
බෙල්ලේ උකුළේ දර හැව ව ගිලිහී ගියේ...
මේ උඹයි නන්දා..
පර මලේ මකරන්ද ඇත්දා..?

ඇයගේ කුම්බස්තලයක මැද සිටි හංසයන් යුවලක් වන් වූ පියයුරු දැන් දැකීමද ප්‍රසන්න
නැත. බෙල්ල උකුල ආදී සැම තැනකම ඇට, නහර පෑදී දර හැවක් බඳු වී ඇත. ඇයව
දකින මේ මොහොතේ ඇගේ ස්වාමි පුරුශයා සියළු සංස්කාරයන්ගේ අනියත බව මෙනෙහි
කරන්නට වෙයි.

ලොව සදාතනික නිර්මල බුදු වදනේ ගැඹුරු හරය වන අනිත්‍ය මෙම ගීතයේ හරි අපූරුවට මතු කර ඇත. මෙම හරවත් ගීතයේ පද වල හිමිකරුවා කවුරුන්ද යන්න මා හරි හැටි නොදනිමි. මා නිවැරදි නම් සංගීතය ප්‍රේමසිරි කේමදාස මහාතාගෙනි. කෙසේ නමුත් මෙහි ගැඹුරු හඬ මුසුව අමරසිරි පීරිස් මහතාගෙනි.