Friday, April 29, 2016

රෑ දොලොස් පැයේ

පසුතැවීම, ජීවතයේ ඇතැම් අවස්ථා වල අප විසින් සිදුකලා වූ යම් යම් දේ පිලිබඳ අපට ඇත්තේ එතරම් හොඳ මතකයන් නොවෙයි. එය එසේ නොවුනා නම් කියා අපට සිතෙන්නා වූ වාරයන් අපමනය. පසුතැවීම් යනු සාමාන්‍ය මනුශ්‍යන් වූ අපට ආගන්තුක හැඟීමක් නොවෙයි. ඉතින් අද මේ පෙරවදන සපයා ගන්නා ගීතයත් එක් ගැමි ස්ත්‍රියකගේ පසුතැවීමක් පිලිබඳවයි. (මේ ගීය තරමක් දීර්ග ලෙස කථා කරන්නටයි මගේ උත්සහය)
රෑ දොලොස් පැයේ ඉඳි කඩුුළු ඇරන් කර ඔසවා බලා උන්නා හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයන් දැන් එතෙයි කියා.
ඉදි කඩුළු හැර තබා ඇය යමෙක් වෙනුවෙන් බලා හිඳී. මෙහි ඉඳි කඩුළු වැටක් යන්නෙන් ගීතයේ කථාව ගලා යන සමාජ පරිසරය මූලිකව පිලිබඳ යම් දල අදහසක් ගැනීමට හැක. වන සතුන්ගෙන් හා වෙනත් ආපදාවන්ගෙන් ආරක්ශා වීමට බොහෝ විට ඉඳි කඩුල්ලක් සහිත වැටක් ඉදිකරගන්නේ සාමාන්‍ය දුප්පත් හෝ මධ්‍ය ප්‍රාන්තික ග්‍රාමීය ජනතාව විසිනි. ඉතින් මේ ගැමි ලඳ රෑ දොලොස් පැයක් නැතිනම් දවසේ පැය 24න් නිදන හරි අඩත් අවධියෙන් බලා හිඳින්නේ ඇය සමඟ යම් අමනාපයක් වී නිවසින් පිටව ගිය ඇගේ ස්වාමියා නැවත එන තුරුය. ඇය කෙතරම් ඇගේ ස්වාමියා අපේක්ශාවෙන් සිටිනවාද යන්න ගීතය තුල ඇය කර ඔසවා බලා උන්නා යන යෙදුම තුල උකහා ගත හැක.
දාර පිඹුරු වග වලසුන් ලගින වනේ දෝස විපත් සිදුනොවියන් උඔට අනේ දෙකනට දෙමික්කන් නැතිවට කම් නැතිවා කරවට පදක්කම් නැතිවට හිත ඇතුවා පෙම්බර කුමාරයෝ. ගීතයේ මා දකින ගැඹුරුම හරය ඇත්තේ මේ දෙවන අන්තරා කොටසෙහිය. එය ආකාර දෙකකින් මා හට ස්පර්ශ වෙයි. 1. දෙකනට දෙමික්කන් නැතිවට කම් නැතිවා කරවට පදක්කම් නැතිවට හිත ඇතුවා දෙකනට කරාබු නැතත් ඇය දැන් ඔහුු සමඟ අමනාපයක් නැත. ගෙලට ආභරන නොමැති වුවත් දැන් ඇය ඔහු හා අමනාපයක් නැත. ඇතැම් විට ‍ඇයගේ කණ කර පාළුයැයි ඇය විසින් ඔහුට වරින් වර කල දොශාරෝපනයන් මත මෙම හබය ඇති වූවා වන්නට ඇත. 2. දෙකනට දෙමික්කන් නැතිවට කම් නැතිවා කරවට පදක්කම් නැතිවට හිත ඇතුවා පෙම්බර කුමාරයෝ. මා වඩාත් ප්‍රිය කරන්නේ ගීතය මේ අයුරින් රස විඳීමටයි. එය ගීතයේ යම් යම් කොටස් වෙන වෙනම ගෙන අර්ථයන් හා ආරෝපනයන් ඉදිරිපත් කිරීම වඩා උචිතයැයි මට හැඟෙයි. * දෙකනට දෙමික්කන් මෙහි දෙමික්කන් යන්න කරාබුවකට එහා ගිය යමක් බව මගේ අදහසයි. අතීතයේ රාජකීයන් හා වංශවත් පවුල් වල පුරුශයන් පවා කුන්ඩලාභරන පැලඳි බව ඉතිහාසය තුල අප අසා ඇත්තෙමු. එයින් ඔවුන්, ඔවුගේ තේජස, සමාජ තත්වය, බල පුළුවන්කාර කම, වත්පොහොසත් කම ආදිය පෙන්වන්නට ඇත. කෙසේ වෙතත් ගීතය තුල ගෙනෙන මෙම ආරෝපනය ඇගේ ස්වාමියා කෙරෙන් ඇති සමාජ තත්වය හා වත්පොහොසත් කම් හීන බව නිරූපනය වනවා යැයි මගේ අදහසයි. * ගෙල වට පදක්කම්. පෙම්බර කුමාරයෝ කුමරෙකු ගෙලට පදක්කමක් පලඳින්නේ ශිල්පයෙහි දක්ශතාවය හා නිපුනත්වය මතයි. ගීතයේ එන පරිදි ඇයට ඔහු කුමරෙකි. නමුත් ඔහු දෙමික්කම් පැලඳි ශිල්පයෙහි නිපුනත්වය මත පදක්කම් දැරූ අයෙකු නොවෙයි. මා ඒ තර්කය ගොඩ නැඟිමට හේතුව මෙසේය. සාමාන්‍ය කාන්තාවක පුරුශයෙකු කෙරෙහි දක්වන මනෝභාවයන් තුල ප්‍රධානම වශයෙන් තමන් ආරක්ශා කල හැකි මනා පෞර්ශයකින් හෙබි (පදක්කම් පැලඳි කුමරෙකුට ඒ පිලිබඳ ගැටළු විය නොහැකිය) තමන් ජීවිත කාලයම රැකිය හැකි (වත් පොහොසත් කම් සපිරි අයෙකුට මෙය ගැටළුවක් නොවෙයි) (දෙමුක්කන් ඊට අනුරූප වේ) තමන් සමඟ පෙමින් බැඳී සිටිය හැකි ඇයට පෙම්බර කුමාරයෙකු වන අයෙකු සමඟ එක් වීමයි.
කෙසේ වෙතත් ගීතය තුල ඇයට මේ කියූ යම් යම් දේවල් අහිමි වීමක්, බොහෝ විට ආර්ථික දුශ්කරතා අරෝවට හේතු වූවා වන්නට පුළුවනි. නමුත් මේ වන විට ඇගේ එකම අභිලාශය වන්නේ තම ස්වාමියා නැවත නිවසට පැමිණීම දැකීමයි. දාර පිඹුරු වග වලසුන් ලගින වනයක් ගැන ගීතයේ තවත් කොටසක කියවෙයි. එය ආර්ථික දුශ්කරතා හා තම බිරිඳගේ වරින් වර නඟන මැසිවිලි ඉවසිය නොහැකිව කැදැල්ලෙන් එලියට බට ඔහු පා තබන සමාජයේ භයානකකම කියාපාන බව මගේ අදහසයි. ඇතැම් විට අගේ ස්වාමියා ඉසුරු සොයා නගරය වෙත ගියා වන්නට ඇත. නමුත් ගැමි ලඳක් වන ඇය නගරය දකින්නේ වෛවාරන විච්චූරන හා නොපනත්කම් රැදි වග වලසුන් වන් මිනිසුන් වෙසෙන වනයක් ලෙසිනි. නිවස හැර ගිය තම ස්වාමියාට මුහුන දීමට වන අවධානම් පිලිබඳ සිතමින් ඇය පසුතැවෙන්නට වෙයි. එය ගැමි ලඳකගේ සියුම් ඉර්ශ්‍යාව, ආත්මාර්ථය, හා තම ස්වාමියා කෙරෙහි වන දැඩි ලෙංගතුකම මුසු හැඟීමක් බව මගේ අදහසයි. කාසි පඬුරු කතරගමට ගැට ගහලා බාර උනා රෑපෙට රෑපේ පුදලා බෝම කඳුළු ඉනුවා ඇස කකියා දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා. පෙම්බර කුමාරයෝ. සමාජයේ රැඳි ආගමික විශ්වාසයන් මත කාන්තාවකගේ පසුතැවිල්ල මුසු සංවේදී චිත්ත ස්වරූපයන්ගේ හැසිරීම ගීතයේ තෙවන අර්ධය තුල මැනවින් ඉදිරිපත් වෙයි. යම් බලාපොරොත්තුවක් මුදුන්පමුණුවා ගැනීමට පඬුරක් ගැටගැසීම සිංහල ජන සමාජයේ එන විශ්වාසයකි. එසේම මෙහිද ගීතය තුල ඇය දෙවියන් වෙත භාර වන්නේ රූපයට රූපයක් දෙන බව කියමිනි. එනම් අනුරුවක් දෙවියන් වෙත පුදන බව දන්වමිනි. සාමාන්‍යෙයන් ස්ත්‍රියකගේ මෙවන් හැසිරීමක් අතිශය හැඟුම් බර සංවේදී අවස්ථාවක් වන්නට ඇත. ස්වාමියාගේ නික්ම යාම ඇයට ගෙනෙන පීඩාවේ අති මහත් බව ගීතයේ අවසාන භාගය වන විට නැවත මතු කරයි. කෙසේ වෙතත් ගීතය පුරාවට ගෙනෙන්නේ අති මහත් වූ සංවේදී බවකි. මෙම ගීතයේ පද අැමිනුම අප අතරින් වියෝ වූ අජන්තා රණසිංහයන් විසිනි. සංගීතය අන්තෝනි සුරේන්ද්‍ර මහතා විසිනි. අතිශය මියුරු ගායනය නිරෝශා විරාජිනී මහත්මිය විසිණි. ගීතය වෙත. https://www.youtube.com/watch?v=_137AEXxtX4

Sunday, April 24, 2016

කේතුමතී නුවර


කේතුමතී නුවර,

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, එතුමන්ගේ නම ඇසූ සැනින් මා සිත තුල ඇති වන හැඟීම වචනයට නැගීම අපහසුය. මා හට එතුමන්ගේ බොහෝ නිර්මාන වල වෙනත් නිර්මාණ කරුවන්ගේ නොදකින විශේශත්වයක් ඇත. එතුමන්ගේ ඇතැම් නිර්මාන වල අනෙක් නිර්මානකරුවන් නොදකින, කථිකා නොකරන ගැඹුරු සමාජ සංසිද්ධි උළුප්පා මතු කරන්නට පන්හිඳ හැසිරවී ඇති බව මගේ හැඟීමයි. (විටෙක එය පන්හිදකට වඩා අසිපතක් යැයි කීම වඩා යෝග්‍යය).
එලෙසින්ම මහාචාර්ය සුනිල් ආරියරත්න යන නම සමඟ නිතැනින්ම සිහි වන තවත් නාමයකි. ඒ විශාරද නන්දා මාලිනියන්ය. සුනිල් ආරියරත්නයන් අතින් ලියවුනු බොහෝ නිරමාණ ප්‍රමාණයකට ජීවය සපයන්නට නන්දා මාලිනී මහත්මිය සමත්ව ඇත. ඇත්තෙන්ම සුනිල් ආරියරත්න, නන්දා මාලිනී යන සුසංයෝගය හෙල සුභාවිත ගීය තුල නොමැකෙන සලකුනකි.
ඉතින් ටික දිනක විරාමයකින් පසුව අරුත වෙත මා අද මේ තෝරාගත් ගීතයේද පද රචනය හා ගායන මහාචාර්ය සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී සුසංයෝගය විසිනි. මියුරු සංගීතය සරත් දසනායකයන්ගෙනි. අන් නිර්මාන වලින් විශේෂයක් ගන්නා විනාඩි 7කට ආසන්න කාලයක් ගැයෙන මේ ගීතයේ මුලික හරය ගමන් කරන්නේ දේශපාලන කථිකාවක් ඔස්සේය. ඇතැම් තැන් වල ගීතයේ වචන හැසිරවීම වර්ථමාන දේශපාලන තත්වය සමඟ ගැටෙන්නේ ඉතාම තියුනු ලෙසිනි. ඉතින් ගීතයේ ඇති මේ හුරුවත් සමඟ පද පෙලෙන් පෙලට අරුත් ගන්වනවාට වඩා යම් කරුණු කිහිපයක් පිලිබඳ පැහැදිලි කිරීම ප්‍රමානවත් යැයි මට හැඟෙයි.
ප්‍රධාන වශයෙන් ගීතය තුල ගොඩනඟන වර්ණනාවකි. ඒ කේතුමතී නම් පුරවරයක් ගැනයි. බුදු දර්මය තුල මේ ගැන පැහැදිලි කිරීමක් ඇත. කේතුමතිය යනු අනාගත මෛත්‍රි බෝධිසත්වයන් පහල වන දේශයයි. එය ගෞතම බුදුරදුන් පහල වූ ජම්බුද්වීප භූමියම වෙයි. කෙසේ වෙතත් කේතුමතිය ගැන අතිමහත් වූ වර්නණාවන් රාශියක් බෞද සාහිත්‍ය තුලද සොයාගැනීමට හැක. එකල් වන විට කේතුමතිය නම් පුරවරය අතිශය පින්වන්තයන් පහල වන සමයකි. එමෙන්ම ඔවුන් අතිශය ධාර්මික අයවලුන් වෙයි. ප්‍රඥාවන්තයන් වෙයි. එම වැසියන් කෙතරම් පිංවන්තද කිව හොත් ඔවුගේ පරම ආයුශ අවුරුදු අසූ හාර දහසක් බව කියවෙයි. සිතූ පැතූ සම්පත් ලැබීමට තරම් ඔවුන් වාසනාවන්ත වෙයි. එලෙසම එහි ඉතාමත් ධාර්මිකව රාජ්‍ය පාලනය කරන ප්‍රඥා සම්පන්න පාලකයන්ය. සියළු මිනිසුන් අධික සැප සම්පත් යස ඉසුරු භුක්ති විඳින සෞභාග්‍යමත් සමයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය මිහිපිට දෙවු ලොවක්ම වෙයි.
ඉතින් බෞද ඉගැන්වීම් තුල එන මේ, අනාගත මෙත් බුදුන් පහල වන කේතුමතී දේශය ආදේශ කරගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වර්තමාන කටුක දේශපාලනය පිලිබඳ කරන්නා වූ අතිශය ඍජු සරදමකි. එතුමන් මෙහි අමුනන සෑම වචනයකම සත්‍ය අරුත ව්‍යංගයකි. නැතහොත් විරුද්ධාර්ථයකි. එය වත්මන හා සැසඳීමේදී ඇතැම් තැන් වල ගැබ් වන්නේ උපහාසයකි. පහර එල්ල කල යුතු තැන කොතැනද යන්න පිලිබඳව එතුමන්ගේ වූ අවබෝදය අතිශය ප්‍රශන්ශා සහගතය. අපව හැමදාම රවටන, අපද රැවටෙන දේශපාලනය නම් මඩගොහොර පිලිබඳව එතුමන් එක් කරන මේ අදහස් සමුදාය වර්තමානය හා සමඟ සැසඳෙන්නේ හරි අපූරු ලෙසිනි.
දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනො‍්
පුපුරුවති අහෝ රතිඤ්ඤා
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
දස රද දම් නිමිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතන මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය
දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්රමිකතා
වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
නැත බදු බර, පවුල් බර, ජීවන බර
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

Wednesday, April 6, 2016

සබඳ අපි කඳු නොවෙමු,

සුපුරුදු රටාවෙන් මිදී ගීතයක අරුත විමසීම වෙනුවටි ගීතයක් තුලින් පැන නැඟි අතුරු කථාවක් වියමන් කරන්නට අද මම උත්සහ කරමි.

එදින වේලාව සවස 4.30 පමන වන්නට ඇති බව මගේ හැඟීමයි. එවකට මම උ.පෙ හදාරා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පරිගනක ඩිප්ලෝමාවක් සඳහා යනෙන කාලයක් විය. එදින පතිත වූ මද මංදාරම් අඳුර හේතුවෙන් මම බසය වෙත නැගගත්තේ එය පිටත් වීමට බොහෝ වේලාවකට පෙර අතුවයි. ක්‍රමයෙන් බස් රථය එහි ආසන ප්‍රමාණයට වඩා මදක් වැඩි වන්නට මිනිසුන්ගෙන් පිරී යන්නට විය. ඒ අතර විටින් විටරථය තුලට ගොඩ වූ යාචකයන් හා සඟරා පුවත් පත් විකුනන්නන් මෙන්ම කඩල රටකජු ආදිය විකුනන්නන්ද විය. (මෙය මහරගම නුගේගොඩ ආදී තැන් වල බොහෝ සෙයින් සාමාන්‍ය දෙයක් බව යන එන යන දන්නවා ඇති.) කෙසේ වෙතත් එසේ රථයට ගොඩ වුනු වෙලෙන්දෙකුගෙන් මිලට ගත් රටකජු සපමින් මා බසය ගමන් අරඹන තුරු දුරකථනය අතට ගෙන අන්තර්ජාලයේ (එවකට GPRS) වෙත පිවිස සැරිසරන්නට වුනෙමි.

රථය ගමන් ඇරඹීමට ටික වේලාවකට ප්‍රථම ඊට ගොඩ වුයේ ප්‍රසන්න පෙණුමකින් යුතු හොඳින් හැඳ පැලඳගත් කරෙහි සයිඩ් බෑගයක් දමාගෙන අතෙහි යම් ලැමිනේට් කල ලියවිල්ලක් රැගත් වයස අවු 28ක 32ක පෙනුමැති තරුණයෙකි. රියදුරු අසුන අභියසට සේන්දු වූ හෙතෙම රථයේ සැවොම අමතා යමක් පවසන්නට විය.

“මුලින්ම ආයුබොවන්, සුභ සන්ද්‍යාවක් කියා පතනවා ඔබ සියළු දෙනාට. ඔබට මගෙන් යම් කරදරයක් වෙනවා නම් ප්‍රථමයෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම
ඔබ යන එන ගමන බිමන සාර්ථක වේවා යැයි පතලා මගේ අම්මගෙ බෙහත් බෙහෙත් වියදම පියවා ගන්න මට උදවුවක් ලබා දෙන මෙන් ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.“
ඔහු ඉන් එහා කිසිම දෙයක් පැවසුවේ නැත. සැපයූයේ එවන් මූලික දත්තයව් කිහිපයක් පමණි. කෙසේ වෙතත් ඔහු ඊලඟ ක්ශනය තුල ගීතයක් ගැයීම අරඹන්නට විය.

ප්‍රථමයෙන් ඔහු වික්ටර් රත්නායකයන්ගේ “ආදරයේ උල්පත වූ අම්මා“ ගීය ගයන්නට විය. දෙවනුව ටී. එම් ජයරත්න මහතාගේ “සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා“ යන මවු ගුන ගීය ගයන්නට විය.

ඔහුගේ හඬ බෙහෙවින් ප්‍රසන්න එකක් විය. ගායනය අතිශය සාර්ථක එකක් යැයි මට හැඟින. නමුත් ඔහුගේ බාහිර පෙනුම තුල ඔහුට තම මව පෝශනය කිරීමට වත්කමක් නැති අයෙකුයැයි මා හට ගම්‍ය වූයේ නැත. එලෙසින්ම අතපය හතර හොඳන් ඇති, රැකියාවක් කිරීමට ශක්තිය ඇති ඔහු කෙරෙහි මගෙන් මතු වූයේ ප්‍රසන්න හැඟීමක් නොවන බව කිව යුතුමය. මට මෙන්ම බසයේ සිටි අනෙක් අයටද වූයේ එවැනිම හැඟීමක් වැනිය.

කෙසේ වෙතත් ඔහු ඉන් අනතුරුව ඔහු අතෙහි වූ ලැමිනේට් කරන ලද ලියවිල්ල පාමින් ඒ මතට ආධාර මුදල් එකතු කරන්නට විය. (එය එතරම් තැලි පොඩි වූ පැරණි ලියවිල්ලක් නොවන බව බැළු බැල්මට පෙනෙන්නට තිබුනි) නමුත් ඔහුට ‍යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට පෙර කී මගේ සිතුවිලි මටම ඉඩ දුන්නේ නැත. එමෙන්ම රථය තුල සියල්ලන්ගෙන්ම ඔහුට හොඳ ප්‍රථිචාරයක් නොලැබුණි. අනතුරුව නැවත බස් රථය ඉදිරිපසට පැමිණි ඔහු නැවත එහි සිටි අයව අමතන්නට විය.

“බොහොමත්ම ස්තූතියි මට උදවු කල නොකල සැම දෙනාටම. මට උදවු කලේ බොහොම ටික දෙනෙක් වුනාට මගේ හිතේ ඔබ කිසිවෙක් සමඟ අමනාපයක් නෑ. මේ ඉන්නෙ මගේ අම්මා.(ඔහු තම බෑගය තුල වු ජායා රූපයක් පෙන්වන්ට විය.) එයාට ඉන්නෙ මං විතරයි. එයාට ලේ පිලිකාවක් කියලා වෛද්‍යවරු කියලා තියෙන්නෙ. ඒ ඒක සහතික කරපු වෛද්‍ය සහතික. (ඔහු තම අතෙහි වූ ලියවිලි පෙන්වන්නට විය.) මාසෙකට එයාගෙ බෙහෙත් වලට ලොකු මුදලක් වියදම් කරන්න වෙලා තියනවා. මම කැලනිය විශ්ව විද්‍යාලෙ සෛෟදර්ය පීඨයෙ උපාධි දාරියෙක්. දැනට පෞගලික ආයතනයක පුංචි රැකියාවක් කරනවා. මගේ පඩිය ප්‍රමාණවත් නෑ අම්මගෙ බේත් වියදමට වත්. ඒ නිසයි මම මේ වගේ බස් වලට නැගලා සිංදු කියන්න හිතුවෙ. ඒත් ඇත්තටම මේ මම උත්සහ කරපු දෙවනි වතාව. කමක් නෑ මම ඔබ වෙනුවෙන් තවත් ගීතයක් ගයන්නම් මිත්‍රවරුනි.

බස් රථය තුල සියළු දෙනා මීයකට පිම්බාක් මෙන් එක් ක්ශනයකින් නිහඬ කරන්නට ඔහුගේ වදන් සමත් විය. ඒ වදන් තුල වූයේ පුදුමාකාර හැඟීම් බර බවකි. ඔහු රථය අමතන වරෙක ඔහුගේ නෙතු අද්දර කඳුලක් ඇති දැයි මට සිතුනි. කෙසේ වෙතත් ඔහුගේ ස්වරය අතිශය අව්‍යාජය. ඔහු නැවත ඔහුගේ තෙවන ගීතය ගයන්නට විය.

“සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන“

ඔහුගේ හඬ අතිශය හැඟීමෙන් යුතු විය. එලෙසින්ම විශිෂ්ඨ ලෙස ඔහු එය ගායනා කරන්නට විය. වරෙක ඔහුගේ මෙම ගීතයේ පද වැල් හදවතට පිහියකින් අනිනවාක් මෙන් විය. ගීතය සමඟ බස් රථය තුල වූයේ දැඩි නිහැඬියාවකි. ඒ නිහැඬියාව බිඳ දැම්වේ මේ තරුණයාගේ සංවේදී හඬම පමණකි.
“ස්තූතියි“ ගීතය අවසානයේ තරුණයා පැවසුවේ එපමනකි. ඔහු වහාම බස් රථයෙන් බැස ගැනීමට යුහුසුළු විය. බස් රථයේ සිටි සියළු දෙනාගේ මුහුණු වල දිස් වූයේ දැඩි කම්පණයකි. මොහොතක් ගත වන තුරු මට කල යුතු යමක් සිතා ගැනීමට නොහැකි විය. එසේම තව දුරටත් අසුනේ රැඳී බසය තුල සිටීමට මගේ හදවත මට ඉඩ සැලසුවේ නැත. මා වහාම බසයෙන් බැසගෙන ඔහුව සොයන්නට වුනෙමි. නමුුත් ඒ මා ඔහු දුටු අවසාන අවස්ථාවම විය. ඉන් මතුවට කිසි දිනෙක ඔහුව මට මුනගැසුනේ නැත.

කෙසේ වෙතත් මෙම ගීතය තුලින් එදා ඔහු මා ඇතුළු බොහෝ දෙනෙකුගේ හදවතටම කථා කරන්නට සමත් විය. අදට වුවද මෙම ගීතය ඇසෙන විට මගේ මනසේ මැවෙන්නේ මේ සිදුවීමයි.

ගායනය ගුණදාස කපුගේ
පද රචනය දර්ශන මේදිස්
සංගීතය ගුණදාස කපුගේ

ගීතය වෙත. https://www.youtube.com/watch?v=g8LYUf24zUo