Tuesday, November 22, 2016

මාරම්බරී


විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද?

මාරම්බරී.....

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය.

රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම් විය හැකිද? ඉක්බිතිව ඔහු ගෙනෙන මේ ඇරයුම ඇගේ කෝල මදහසින් උමතුව නොහිම් චිත්ත සන්තාපයන් නිවා ලන්නට නෙවෙයිද? අහෝ මා කෙසේ වනම්ද ඒ ශෘංගාරය පිලිබඳ.

එලෙසින්ම ගීතයේ අන්තරා කොටසෙහි අවධි වන ආලාප් කොටස හා ස්වර්ගම් ගායනය තුල එක් කරන රසය වන් රසයක් නව රැල්ලේ ගැයෙන "රැපක්" තුල පවතීදැයි මසිත නඟන්නා වූ පැණයකි. එසේම ගීතයේ සංගීත ඛන්ඩ අතර දීප්තිමත් වන මිහරි බට නලා හඬ හා ආකර්ශණිය තබ්ලා වාදනය මසිත එක්තරා දැහනක රඳවනවා යැයි කියන්නේ නම් එයද අතිශෝප්තියක් නොවෙයි. ඉතින් සුභාවිත ගීයක මධුර ලාලිත්‍ය මෙයම නෙවන්නේද?

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී... 
ආ..... ආ..... ආ...... 
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා...

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි
ප නි ස ග
නි ස ග ප නි ස නි ප ග ස නි
ප නි රි ස ස ග
ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ම ග ස නි
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

ගීතය වෙත
https://www.youtube.com/watch?v=xbLOIeJZlqw