Thursday, March 10, 2016

අලුත් පාර හැදෙනවා

අලුත් පාර හැදෙනවා....
"ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා" එතරම් ප්‍රසිදියක් නොවුනද තවත් හදවතින් විමසා සිටිය යුතු කරුනක් ගැන මතු කරන මෙම අපූර්ව ගීතයේ පද මාලා කුමරදාස හපුතන්ත්‍රි මහතාගේ, සංගීතය රොහන වීරසිංහයන්ගේ, ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ, ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා අලුත් පාර හැදෙනවා අනුන්ගේ දේවල් හොරා කන මේ සමාජයේ අදටත් තමුන්ගෙ දාඩිය මහන්සිය වගුරවා, ජීවිතයේ කටුක බව දෑතින් දරාගෙන දෛවය වෙත සිනා පාන මිනිස්සු නැතුවාම නොවෙයි. මහ රූස්ස තුරු වනයක් මෙන් වූ සමාජයක එසේ නොවුනු ලඳු කැලෑවක් බඳු වූ වැඩ කරන පංතියේ දුප්පත් මිනිස්සු, හැමදාම වගේ ඔවුන් ඉදිරියේ වන මහා විශාල බාදක බිඳ ඉදිරියට තනන මං මාවත් තුල, තනන මාලිගා තුල ඔවුන්ගේ ශ්‍රමය වගුරුවා කුසගින්න නිවා ගනී. හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා පොළොව දැවී අපේ පයට සිහිල සදනවා දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා
අනුන්ගේ දේවල් හොරකම් කර බඩ වියත රැක ගන්නවා වෙනුවට මහපොලව මත හෙලන ශ්‍රමය ඔවුනට ආශිර්වාදයක්ම යැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන්. ඇත්තෙන්ම ඔවුනට මහ දවල් පායා ඇති හිරුගේ කිරන සෙවන සදනවා යැයි දැනෙනවා විය හැකී. දැවී රත් වූ මහ පොලව ඔවුනට සිසිල ගෙනෙනවා වන්නට ඇති. හමා එන දුහුවිලි මිශ්‍ර සුලඟ ඔවුන්ගේ විඩාව නිවනවා වන්නට ඇති. දෑතේ මතුව එන කර ගැට ඔවුනට දෙතොලට පවන් සලනවා වන් වන්නට ඇති. ඇත්තෙන්ම එය ඔවුන්ගේ ශ්‍රමයේ අමිල වටිනාකමයි. අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා
සත්තකින්ම මහ පාර තුල අතුරන කළු ගල් වන්නේ ඔවුන්ගේ ශ්‍රමය නොවෙයිද? තාර ලෙසින් ඇතිරෙන්නේ එවන් මිනිසුන්ගේ දහඩිය නොවෙයිද? ඒත් එවන් මිනිසුන්ට සමාජය තුල ඒ වටිනාකම ලැබෙනවාද? ඔවුනගේ ශ්‍රමය තුල ගොඩනැඟෙන පාර විවෟර්ත වන්නේ මැති ඇමති වරුන්ගෙ නම් වලින් නොවෙයිද?. ඒත් මහ පොලව මත සටන් වැදුනු ඒ මිනිස්සු පාර දෙස බලා සිටිනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? හරියට සිතුවොත් ඒ මිනිසුන්ගේ නියම වටිනාකම එයද? ඉතින් ඔබට සිතන්නට යමක් ඉතිරි කලා නම් මා සාර්ථක යැයි සිතනවා.