Thursday, March 10, 2016

සඳ ගිරි පව්ව උසයි

සඳගිරි පවුව... දෙමවුපියන්ට අකීකරු වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? විවාදයක් නෑ ඒක නරක දෙයක් නේ. ඒත් අද සමාජයේ මේ විදිය අකීකරු වීම් බොහොම සුලභයි. හරි, මං දැං ඔබ වෙත ගෙන එන ගීතයේ වස්තු බීජය දෙසට හැරෙන්නම්. ඇය රූමත් තරුණියක්. ඇය දිනක ඇයට හමුවූ තරුණයෙකු හා පෙම් සබඳතාවක් පටන් ගනී. ඇය ඔහුට බොහෝ සෙයින් පෙම් කරයි. ඇත්තෙන්ම ඇයට හිමි සඳ කුමරා ඔහු යැයි ඇය වටහා ගනී. දැන් ඇයගේ එකම සිහිනය සඳ ගිරි පවුව වන් වූ කිඳුරු කොදෙවුක සුවදායක නවාතැන්පලක තමන් පෙම් කරන ඒ සඳ කිඳුරා සමඟ ජීවිතය බෙදා ගැනීමයි. කෙසේ වෙතත් කාලය ගෙවෙද්දී මේ පෙම් හබය පිලිබඳ ඇයගේ මව දැනගනී. මව එයට තදින්ම විරුද්ධ වෙයි. තරුණිය සිය මවට අකීකරු වී සිය ජීවිතය පිලිබඳ තීරනාත්මක තීන්දුවක් ගනී. ඇය තම පෙම්වතා සමග සිය සිහන මැවූ ලෝකය වෙත පියමන් කරයි. ගත වන්නේ අල්ප කාලයකි. ඇය තරනය කරන සඳ ගිර ඇයට ඔහු හා තරනය කිරීම බැරි බව ඇයට තේරුම් යයි. ඇත්තෙන්ම තම පෙම්වතා වරදට පෙලඹුනු කෙලිලොල් අයෙක් බව ඇයට තේරුම් යන්නේ කාලයත් සමඟයි. ඔහුගේ සතුට වන්නේ රාත්‍රී සමාජශාලා හා වෙනත් ස්ත්‍රියන් ඇසුරයි. එලෙසින්ම ඇයට ඔහුගේ නොයෙකුත් වධ බන්ධනයන්ටද යටත් වීමට සිදුවෙයි. කෙමෙන් ඇයට කුල ගෙය ගිනිගෙයක් බවට පත් වෙයි. ඒ වන විට කිසිඳු හවු හරනක් නැති ඇය නැවත සිය මව සොයා යයි. ඒ අවස්ථාවේ ඇයගේ හදෙහි නැගෙන ශෝඛාලාපය මෙම ගීතයට පදනම සපයයි. සඳ ගිරි පව්ව උසයි කිඳුරා හරිම වසයි මම ගෙදර එන්න ආවා අම්මේ.. දොර අරින්න නුඹ විතරයි ඉන්නේ…. ................................................. රත්තරන් කියා කඩු තුඩ මං ඇන ගත්තේ පපුවට නුඹ එපා කියද්දී ම යි අම්මේ ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ….. ................................................... සල් පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර මට අරුමෝසම් හුරු නෑ අම්මේ නිය පහුරු වැදුනු හිත බලපන්නේ…..... .................................................. ඉතින්, කොහොම වුනත් අවාසනාවකට මේ අපූරු අරුත් බර ගීතය බොහෝ දෙනා අතර වැඩි ප්‍රචාරය නොවුනත් බොහොම ලයාන්විත වචනයේ අරුතින්ම අපූරුතම ගීයක්. මෙහි පද රචනය ප්‍රවීන ගීත රචක රවී සිරවර්ධනයන්ගේ, සංගීතය දර්ශන වික්‍රමතුංගයන්ගේ, එ් වගේම ගායන ශානිකා සුමනසේකර මහත්මියගේ ලයාන්විත හඬින්. එසේනම් ඔබට ආරාධනා කරනවා මේ ගීතයේ රස පහස විදින්නට.