Wednesday, August 23, 2017

මින්දද හී සර ‍වැදී සැලෙන හද

ප්‍රේමය හා රාගය, ඊට මා අරුත් සපයා දීම අපහසු සොඳුරු, සමගාමී චිත්ත ස්වරූපයන් දෙකක් යැයි කිව හොත් ඔබ එකඟ වනු ඇතැයි සිතමි. සැබැවින්ම නුරාව මද පමනින් මුසු වූ ප්‍රේමය තරම් සිංහල සාහිත්‍ය වෙත සොඳුරු, ප්‍රසන්න සංකල්පයන් උත්පන්න කල තවත් යමක් එක වර මසිතට නොනැඟෙයි. කෙසේ නමුත් කලකට පසු අරුත වෙත යමක් ලියන්නට මා සිතුවිලි අවධි කල මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කරන ලදුව ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයකි. ඒ අන් කවරක් වත් නොව "මින්දද හී සර" ගීය වෙයි.
වර්ථමානය කෙසේ වෙතත්, මෙය අපේ හෙල සුභාවිතය යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුය. එ තුල කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවය. සැබැවින්ම ඇතැම් තැන්හි නිර්මාපකයා විසින් ඔහුට ගෙන ආ යුතු අධික ශෘංගාරය පවා ව්‍යංගය තුල සඟවා සොභා දහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශණිය ලෙසිනි. ඇත්තෙන්ම සොභා දහම සමඟ බද්ධ වූ එවන් කලාවේ රසය මෙය යැයි අරුත් සැපයීමට මා අපොහොසත්ය. නමුත් මේ ගීතයේ පද වැල් අතරින් මා උකහා ගත් රසය මදකින් හෝ ඔබට සමීප කරන අටියෙන් මෙසේ සටහන් තබන්නම්. මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ  ...// ගම්බද තරුණ යෞවනයෙකු වෙතින් තරුණියක කෙරෙහි උත්පන්න වන ප්‍රේමණීය ආලවන්ත කමක් ගීතයේ මූලික ලෙසම සේයා කරයි. සැබැවින්ම එ තුල තව දුරටත් ඔහුගේ තරුණිය වෙත වන ප්‍රේමණීය බලාපොරොත්තුවක් මෙන්ම ප්‍රේමනීය ආරාධනයක්ද සිත්තම් කරන්නේ අතිශය සෞන්දර්යාත්මක බවින් යුතුවය. චන්දන මල් අතුරා ඇති යහනට( ඔහු මනෝ භාවයන් තුල ගොඬනඟා ගත් මංගල යහනාවට) "කන්ද කපා පායන් රන් පුන් සඳ". කන්ද කපා, නැති නම් කන්ද මුදුනෙන් එක් වරම පායා එන පුන්සඳේ ප්‍රභාවේ ආකර්ශනය පිලිබඳ නැවත කිව යුතු නොවේ. එලෙසින්ම කවියන් සඳ තරමින් යුවතිය උපමා කල වෙනත් වස්තුවක් නොමැති තරම්ය. ඉතින් මේ තරුණයාගේ ඇරයුම, නැතිනම් අභිප්‍රාය කන්ද කපා පෑයූ පූර්න සඳ විලසින් ඇයව මංගල සයන මත දැකීම නොවෙයිද? තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ  ...//
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා මා පෙර තැනක සඳහන් කල ලෙසින්ම මඩවල එස් රත්නායකයන් සොභාදහම සමඟ ගීතය අනුබද්ද කල අයුරු අතිශය සෞන්දර්යාත්මකය. "තුරඟෙකු පිට නැඟි නීල වලාකුළු, ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ." ඇත්තෙන්ම මේ තුල අපූර්ව ලෙස ගෙනෙන්නේ තුරඟෙකුගේ වේගයට සමව ඉක්මනින් ගුවන් ගැබෙන්, නෙත්මානයෙන් ඔබ්බට සැඟව යන නිල් අහස, නැති නම් සරල බසින්ම කියනවා නම් සන්ද‍්‍යාවේ උදා වීම පිලිබඳවයි. එලෙසින්ම උදා වන සන්ද්‍යාවේ තරුණයා කෙරෙන් පිබිද එන සොඳුරු සිතුවිලි වල අපූර්වත්ය ගීතය තුල මතු කර ලන්නේ ශ්‍රාවකයාගේ සිත වෙතද ප්‍රසන්න හැඟමන් මුදාලමිනි. මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා  ...//
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා ගීතයේ අවසාන භාගය තුලද තරුණයා විසින් ඇයට ගෙනෙන ඇරයුමේ නැති නම් ඔහුගේ බලාපොරොත්තුවේ තිර භාවය නැවත සපථ කරන්නා සේය. අනාගතය වෙනුවෙන් ඔහු ඇයගේ නෙතු වලින් ආලෝකය අයැද සිටී. එතුල ජීවන ගමනට ඇය සහකාරිය වීම ඔහුගේ අති මහත් වූ බලාපොරොත්තුවම වෙයි. එසේ නම් නැවත වරෙක හමු වන්නම්. ස්තූතියි....!! ගීතයට සවන් දෙන්න. https://www.youtube.com/watch?v=GYZjtqfRyGo