Tuesday, March 29, 2016

තුමුල බල ඇති තෙදැති දෙවඟන


නීතිය........,
ශිෂ්ඨ සම්පන්න මිනිසාගේ යහ පැවැත්ම උදෙසා නීතිය ඉටු කරන්නේ නොමද කර්තව්‍යකි. නීතියේ රාමුව සැමට සධාරණ එකක් විය යුතුය. එලෙසින්ම සාධාරණ සමාජයක් උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන බල ත්‍රිත්වයම ස්වාධීන විය යුතුය. එහෙත් අවාසනාව නම් එය එසේ නොවන බව මෑත ඉතිහාසය තුලම සපථ වීමයි.
අධිකරණයේ නිල සංකේතය, නීතියේ දෙවඟනය. ඇය දෑස කාල වර්ණ කඩ තිරකින් දෙනෙත වසා සිටී. එයින් ඇගේ අපක්ශපාතීත්වය විදහා පායි. බලය, නිලය, වත් පොහොසත් කම් යුක්තිය පසඳිලීම යන කාරණයේදී ඇය දකිනේනේ නැත. ඇගේ එක් අතක තුලාවකි. එයින් තීරණ වලදී තුලනාත්මක බව විදහා දක්වයි. සත්‍ය වශයෙන්ම එහි කිරා මැන බලන්නේ සාධාරණත්වය හා අසාධාරණත්වය පමණි. ඇගේ අනෙක් අතෙහි වන අසිපතකි. ඉන් යුක්තිය ඉටු කිරීම විද්‍යාමාන කරයි.
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල ...//
වත්මන් කටුක යථාර්තය තුල නීතියේ වල් වැදීම කියා පාන්නට ගීතයේ ප්‍රථම අර්ධය තුලම රචකයා උත්සාහ දරා ඇත. නීතියේ දෙවඟන සැම විටම ස්වාධීන හා සියළු දෙනා කෙරෙහි අපක්ශපාතී විය යුතුය. නමුත් අවාසනාවට නීතියේ දෙවඟන රටේ පාලකයාට දක්වන්නේ නොමද හිතෛශීවන්ත බවකි. මේ නිසා ඇගේ පාරිශුද්ධ බව පිලිබඳව ඇත්තේ කුකුසකි. කෙසේ් නමුත් පාලකයා වෙත පාන ඇගේ හිතෛශි වන්ත බව පිලිබඳව කියා පාන්නට රචකයා විසින් අපූරු යෙදුමක් ගෙන ඇත.
“රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල “
එම ව්‍යංගය මුසු යෙදුම කෙතරම් කාලෝචිතද යන්න වත්මන් රටේ තත්වය සමඟ සසඳා බැළුවද වැටහී යනු ඇත.
ඉරා සළු පට බැඳුනු නෙතු යුග
තරාදිය ගෙන හෙළා ගඟ දිය
තලා අසිපත නසා එහි බල
පසිඳලිය හැකිවේද යුක්තිය
ගීතයේ දෙවන අර්ධය තුල අධිකරණයේ නැතිනම් නීතියේ ඳෙවඟනගේ ක්‍රියා කලාපය පිලිබඳ පැනයක් නඟන්නට රචකයා උත්සුක වූ සෙයකි. දෙනෙත බැඳි සළු පට ඉවත් කර ඇය සත්‍ය දකින්නේ කෙලෙසද? දෑස බැඳි කඩ තිරෙන් මිදුනු ඇය බලය, නිලය, වත් පොහොසත් කම් ආදිය නොදකී යැයි කාට නම් කිව හැකිද? තවද ඇය අතෙහි වන තුලාව ඇගෙන් ගිලිහුනු සෙයකි. යුක්තියේ අසිපතෙහි බල බිඳුනු සෙයකි. බලවතුන්ගේ අරමුණු උදෙසා දෑස් විවර කල නීතියේ ඳෙවඟන මෙලෙස ක්‍රියා කරන විට බලාපොරොත්තු විය හැකි යුක්තිය කුමක් දැයි රචකයා විසින් පැනයක් නඟන පැනයකි.
ධවල සළු පිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් ගරා හැලුණිද
ඔබේ ගත රැඳි දුහුල් සළුපොට
හමන සුළඟට ඉගිල යාවිද
නීතියේ ආදිපත්‍ය බිඳ වැටීම පිලිබඳව තව දුරටත් තහවුරු කිරීමට ගීතයේ අවසාන අර්ධය සමත් වෙයි. ධවල සළු පිලි පවිත්‍රත්වයේ සංකේතයක් බඳුය. නමුත් යුක්තියේ දේවතාවිය කෙරෙන් මේ කියා පාන පාරිශුද්ධ බව සොරුන් රැගෙන ගොස් ඇති සෙයකි. මිනි මෙවොල් දම් යනු කාන්තාවන් ශෝබ මාන කරන අගනා අභරනයක් වෙයි. නීතියේ දේවතාවියගේ මෙවොල් දම් වල ගරා හැලීම ප්‍රශ්න කරමින් මතු කරන්නේ ඇය කෙරෙන් වූ තේජස, අභිමානය, ආධිපත්‍ය බිඳ වැටීම නොවෙයිද? අවසාන වශයෙන් ගීතයේ පවසන අයුරින් ඇගේ ගත රැඳි විලි වසා ගත් දුහුල් සළුවද අවනීතියේ සුලඟට හසුව ගසාගෙන යයි නම්........,,, මෙතැන් සිට සිතන්නට මා ඔබට බාර කරමි...
කෙසේ නමුත් මේ කාලෝචිත ගීතයේ පද රචනය උපුල් ජයමාන්න මහතා විසිනි. සංගීතය ඩෙනිස්ටර් පෙරේරා මහතා විසිනි. මියුරු හඬ අමරසිරි පීරිස් මහතා වෙතිනි.

Monday, March 21, 2016

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.


ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි.

එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්තියකි. දිනක් තම කටයුතු වල නියැලී සිටින අතර තුර මේ තරුණයා හට තමන් පෙමින් බැඳුනු පෙම්වතිය දකින්නට යෙදෙයි. ඒ තනිව නොවෙයි. ඒ වෙනත් ජේත්තුකාර තරුණයෙකු හා වෙලී මොටසයිකලයක නැඟී ඔහු අසලින් යන අයුරුයි. මේ දුප්පත් තරුණයා ඔබ යැයි මදකට ඔබේ සිත තුල ආරූඩයක් ගොඩ නඟා ගත හොත් ඔබට දැනෙන්නේ කොයි වගේ හැඟීමක්ද? ඉතින් කොයි හැටි වෙතත් මා දන්නා තරමින් රත්නර්‍ශී විජේසිංහයන්ටද මේ ගීතයට පාදක වන්නේ මේ සිදුවීමයි.
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා..
කුමාරියන් වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..

මේ දුප්පත් පෙම්වතා තමන් පෙම් කල ප්‍රේමවන්තිය වෙනත් ජේත්තුකාර තරුණයෙකු හා වෙලෙමින් ඉතා වටිනා කියන යතුරුපැදියක නැඟි පවනට බඳු වේගයෙන් ඔහු අසලින් යනු දකී. එවිට මේ අව්‍යාජ පේමවන්තයාගේ සිතෙහි නැඟෙන සිතුවිලි ස්භාවය මේ තුල ඉදිරිපත් කරයි. තවද ගීතයේ මුල් කොටසේ දෙවන පද දෙක තුල ගීතයේ මුළු හරයෙන් හරි අඩක්ම කියවෙන බව මට හැඟෙයි.
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
අප සිංහල ජන සමාජයේ සංකර සිරිත් විරිත් වල ඒ හැටි හුරුවක් නැත. විශේෂයෙන්ම ගැහැනු ලමයෙකු විවාහයකට ප්‍රම හැසිරිය යුතු ආකරයක් ඇත. එ් ලෙසින්ම විවාහයට පෙර ගැහැනු ලමයෙකුට කිරුලක් වන්නේ ඇගේ පවිත්‍ර බවයි. එම කිරුල ඇගෙන් විවාහයට පෙර ගිලිහෙනවා නම් ඇය කෙරෙන් කිරුල හිමි කුමරියකගේ වටිනා කම ගම්‍ය වන්නේ නැත. ඒ බව මේ තුල මනාව ඉදිරිපත් වන බව මගේ හැඟීමයි.

සූසැට ශිල්පයකු ගෙනා පාරගතව ගියෙනා..
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා...
මා ගත දා බිදු හදුනා හදේ සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා.

මේ අව්‍යාජ දුප්පත් පෙම්වතා, ඔහු අසලින් යන ඔහුගේම පෙම්වතිය දෙස බලන්නට වෙයි. ඔහු ඇයට සැබැවින්ම පෙම් කල අයෙකු වුවත් මේ වෘතාන්තය තුල ඔහුට හිමි වන්නේ මහ පාරේ දුක් විඳිමින් ඇය වෙනත් තරුනයෙකු හා පාන අනඟ රැඟුම් දැකීමටය. කෙසේ නමුත් දුප්පත් පෙම්වතා දකින මේ තරුණිය ඇගේ විලවුන් තැවරූ ලේංසුව ගෙන මුව මඩල වසා ගනී. එය ඔහු දකින්නේ සරදමක් ලෙසිනි. ඇතැම් විට ඇය උත්සාහ කරන්නේ මේ අවිහිංසක ප්‍රේමවන්තයාගේ නෙතු වලින් දැල්වෙන අකලංක ආදරයේ ගිනි පුපරු මඟ හැර යාමටදෝ යැයි වරෙක මට සිතෙයි.

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන්යම සුවද උලා උදෑසනින් වැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා...

ඔබ උදුම්බරා නැමති මල් විශේෂය ගැන අසා තිබෙනවාද? බොහෝ කලා කරුවන් ප්‍රේමයේ අර්ථ දැක්වීම් වලදී උදුම්බරා මල උපහැරනයක් කොට ගනී. මේ සුදු පැහැති උදුම්බරා පුශ්පයේ සුවිසේශී බව වන්නේ එහි ඇති අතිශය දුර්ලභ බවයි. මෙහිද පිවිතුරු ප්‍රේමය උදුම්බරා මලකට උපමා කර පෙන්වන්නේ ඒ නිසාමයි. එලෙසන්ම යම් දුකකක් සිත් තැවුලක් ඇති වූ විට “අනේ මට වගේ දුකක් තව කෙනෙක්ට නොවේවා“ යැයි කියන ගතියක් අපේ සිංහල මිනිසුන් අතර ඇත. මෙම ගීතයේද එවන් හැඟුමක් මේ තරුණයාගේ සිත තුලින් නැඟී එයි. තුන් යම රෑ පුරාවට කොහේ හෝ ලැගුම් හලක රාගයේ සුවඳ ගත තවරා උදෑසන වන විට පෙම් සුවඳ සිතින් වියැකි යන ප්‍රෙයා්ගකාරී ආදරවන්තයින් යැයි හුවා දක්වන අයට නොවෙයි, සැබෑ ආදරය නම් උදුම්බරා මලෙහි සුවඳ හඳුනන ප්‍රේම වන්තයන් උදෙසා තවත් උදුම්බරා මල් පිපියන් යැයි ඔහු ප්‍රාර්ථනා කරනවා වැනිය.

කෙසේ වෙතත් මේ අපූරු ගීතයේ පද රචනය රත්න ශ්‍රී විජේසිංහ මහතා අතිනි. සංගීතය රෝහන වීරසිංහයන්ගෙනි. මියුරු හඬ කරුනාරත්න දිවුල්ගනේ මහතාගෙනි.

ගීතය වෙත.
https://www.youtube.com/watch?v=fNgHgJY5u2o

Saturday, March 19, 2016

ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා

“ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය. එක් තරා බුදු වදනකි. කෙසේ හෝ මේ ජීවන භවය තුලට මිනිසුන් ලෙසින් පැමිණීමේ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසවර්ති මාරයා වෙත නියත ලෙසම පැමිණෙන බව ගිවිසාගෙන පැමිණ සිටින්නෙමු. ඒ සඳහා මාරයා දින වකවානු නිර්නයන් සපයා නැත. ඔහු අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය. අද ඔබ සමඟ මේ දොඩමළු වන මා වුවද හෙට ඔහු කරා පියනඟා තිබිය හැකිය. කෙසේ නමුත් මෙවන් වූ අනියත ජීවන භවයක් තුල අප එක් රැස් කරගන්නා බැඳීම් නම් කො‍තෙකුත්ද. දෙමවුපියන්, බිරිඳ, දරුවන් හරිහම්බ කල දේපල මිල මුදල් යාන වාහන ආදී වශයෙන් කොතෙක් නම් බැදීම් අප ගොඬ නඟාගෙන සිටිත්ද. දිනක මාරයා වෙත යන ගමනේදී මේ කිසිවක් ඔබ හෝ මා සමඟ පැමිනෙන්නේ නැත. භව කතර තුල අතිශයිම දුර්ලබ විරල වූ මේ යම් පරීක්ශනයක් බඳු වූ මනුසත් භවය, දිනක කෙලවර කර මාරයා වෙත යන ගමනේදී අප සමඟ පැමිනෙන්නේ ලැබුවා වූ දිවිය තුල කලා වූ පිං පවු දෙක පමණකි.
මා හට අවසාන වශයෙන් පූර්විකාව තුල ගෙන ආ යුතු දෙයක් ඇත.
අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝපදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථාමතා
සිහිබුද්ධිය ඇතිව ජීවත්වීම නම් වූ නොපමා බව නිවනට මඟයි. සිහිබුද්ධියක් නොමැතිව අවිද්‍යාව නිසා කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන් මළවුන් වැනිය.

කෙසේ වෙතත් අද මා තෝරාගත් මේ අපූරු හරවත් ගීතයේ මූලික පදනම සපයන්නේ තම වයෝවෘද බිරිඳ දෙස බලා තැවෙන මහළු මිනිසෙකුගේ සංවේදී සිතුවිලි සමුදායක්ය.
දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි... මිදී ‍යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි...
ඔවුන් මහළු වියට පා තබා අවසන්ය, තව නොබෝ දිනකින් ඔහුව හෝ ඇයව මාරයා විසින් කැඳවා ගෙන යනු ඇත. එය ඔවුන් දෙදෙනාගෙන් ප්‍රථමයෙන් කවුරුන්ද යන වග කිව නොහැකි වුවත් මේ වයසක මහළු මිනිසා හට තම වයෝවෘද බිරිඳව තනි කර හැර දමා යාම අසීරුය. ඔහුගේ චිත්තවේගයන්ගේ කම්පනය මේ තුල මනාවට මතු කරයි.
බැදී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ වුන් ලබැදි සිත් මල් පරව යනවිට පසක් වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...
ඔවුන් මේ ලබා නිමා නිමාකරන්නට සැරසෙන ජීවන භවය තුල මුනගැසුනු බැඳීම් බොහෝමයකි. දෙමවුපියන්, නෑදෑ හිතවතුන්, සහෝදර සහෝදරියන් ආදී ඔවුන් සමඟ ජීවන ගමන පුරා එකට එක්ව සිටි බොහෝ දෙනා එකිනෙකා බැගින් තම තමන්ගේ ජීවන ගමනද නිම කරන්නට ඇත. එ දෙස බලා සිටින මේ මහළු මිනිසා ජීවන භවය තුල ඇති බැරෑරුම් කම හා භයානක කම තේරුම් ගන්නට උත්සාහ දරයි.
බැදුනු සෙනෙහස නොවන නිම් හිම් ඇතද පන නල සමඟ රැකෙමින් අපේ අත්වැල ලිහී ගිලිහෙන මොහොත එයි කවදාක හෝ යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...
තමන් පෙමින් බැඳි තම මහළු වයෝවෘද බිරිඳ පිලිබඳ ඔහු නැවත සිතන්නට වෙයි. ඔවුන් දෙදෙනාද එකට එක්ව ගමන් කල මේ ජීවන ගමන තව නොබෝ දිනකින් අහවර වනු ඇත. ඔහු හා ඇය තනි තනිව ඒ ගමන සඳහා සියළු බැඳීම් බිඳ දා නික්ම යා යුතුව තිබෙයි. ඒ පිලිබඳව මේ මහළු මිනිසා පසක් කරගෙන සිටී. සැබැවින්ම සසර දුක මෙතෙකැයි කියා නිම කරන්නට අපට නොහැකිය. සියළු දේ අනියතය. නියතය වන්නේ අනිත්‍යම පමණි.
කෙසේ වෙතත් මේ වටිනා ගීතයේ පද වැල් ගෙතුම කුලරත්න ආරියවංශ මහතාගේ අතිනි. සංගීතයේ අනුග්‍රහය රෝහණ වීරසිංහ මහතාගෙනි. මියුරු හඬ සෝමතිලක ජයමහ ශූරීන්ගෙනි.
ගීතය වෙත. https://www.youtube.com/watch?v=SS35A5RkCXQ

Friday, March 18, 2016

මිතුර සෙවනැලි

මිතුර සෙවනැලි

හිරුගෙ එලියෙන් ඉපදුනත් නුඹ
ඇයිද හිරුගෙන් සැඟවුනේ
සැඳැ අඳුරේ මිලින වී නුඹ
කොහේදෝ සැඟවී ගියේ

සිනා සලනා සඳේ සරදම්
ඇයිද මෙතරම් ඉවසුවේ
රැයේ තනිකර ගියත් නුඹ මා
උදෑසන ඇයි පැමිණියේ

නිතින් සැම දින පැමිණ පසුපස
ඇයිද දුක සැප විමසුවේ
නුඹයි සැමදින මිතුර සෙවනැලි
සදා නොවෙනස් වුන සකී

Tuesday, March 15, 2016

සඳුද අවදියෙන්


ප්‍රේමයට ලඟම නෑයා විරවයි කියා මා තර්කයක් ගෙනෙයි නම් ඔබ එයට එකඟයිද? මාගේ විශ්වාසය අනුව මේ එකිනෙකට පරස්පර චිත්ත වේගයන් දෙක අතර ඇත්තේ අල්ප මාත්‍ර දුරස් බවකි. එමෙන්ම අර්ථ පූර්නය කල නොහැකි බොහෝ දේ මේ වදන් දෙක අතර සැඟවී ඇති බවත් කිසිවෙකුට නොරහසක්. කෙසේ වෙතත් ආදරය යන මානව හැගීම සනතර්පනය තුල බිහි වූවාට වඩා විරහවේ වේදනාව තුල වඩා විශිෂ්ඨ කලා නිර්මානයන් ලොවට දායාද වූවා යැයි මා තවත් විශ්වාස කරන කරුණකි.
ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ, ගීතයේ ප්‍රවිශ්ඨයට ප්‍රථම මට සිහි වන බුදු වදනකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. මදකට මා මෙලෙස උපකල්පනයක් ගොඩ නැඟුවොත්.
“දැඩි ලෙසින්ම ප්‍රේමයෙන් බැඳුනු යුවලක්, එක් අයෙකුගේ වියෝ වීමක් කෙසේ දරා ගනීද? එය ඔවුන් විවාහ පත් වූ අළුත සිදුවී නම් කෙතරම් සෝචනීයද? තමන් දැඩිව පෙම්කල තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේම වන්තිය වෙනුවෙන් ඔවුන් කොයි තරම් නම් සිත් තැවුලකට පත් වෙයිද? මා විශ්වාස කරන අයුරින් මෙම පද වැලේද මූලික හරය ගලා යන්නේ එවන් අවාසනාවන්ත ඉරනමකට මුහුන දුන් අවාසනාවන්ත තරුනයෙකුගේ ශෝඛාකූල චිත්ත වේගයන්ගේ ව්‍යාකූල වූ හැසිරීම හරහායි.

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...//
ඇය හා පෙමින් බැඳි ඔහුගේ ජීවිතයේ වසන්තය උදා වන්නේ ඇය සමඟ විවාහප්‍රාප්තියෙනි. නමුත් ඔහුගේ උදා වූ වසන්තය ඉතා කෙටි කාලයකට සීමා වෙයි. ඇයගේ වියෝවත් සමඟ ඔහුට ජීවිතයේ උදා වූ වසන්තය තුල තනි වන්නට සිදුවෙයි. නමුත් එය ඔහුට දරාගත නොහැකි වේදනාවකි. නිදි දෙවුදුව ඔහු අසලට නොපැමිනෙයි. ඒ වෙනුවට සඳු හා තරු පමනක් මේ ගෙවෙන නිශාන්තය තුල තනි වූ ඔහු සමඟ අවධිව සිටී.
සීතල ඇතිරුනි මිහිරිය ලය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා..
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙක.
ඔබලඟ නැතිවම අද මා තනිවම..
මෙහිදී ඔහුගේ බිරිඳගේ වියෝවීම පිලිබඳ පලමු ඉඟිය සපයයි. පෙම්වතියගේ උනුසුමින් පිරි ලය මඬල සීතල වී යාමත් සමඟ ඔහුගේ මනසේ ඇතිවන ව්‍යාකූල බව මෙයින් මතු කර පෙන්වයි. කොඳ කෙමි තුල මධු ඇති බව සැබෑය. එහෙත් පිපිරී යන තරම්? ඇත්තෙන්ම මේ අවස්ථාව තුල ඔහුගේ සිතේ වූ වේදනාව නිසා ඔහු මධුවිතින් උනුසුමක් සොයා නිශ්පල වෑයමක් දරයි. කෙසේ නමුත් ව්‍යාකූල මනසකින් යුතු ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ වේදනාවෙන් පිරුණු මතකයේ දරාගත නොහැකි පීඩනය නිදහස් කර ගැනීම මිස අන් ආශ්වාදයක් නොවෙයි.
පහන් නොදැල්විනි ඔබෙ පැල්පත තුල
නිදිමත අඩනෙතු පිය සනහා..
මගේම කඳුලක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල්පෙති මත..
මා සිතන අයුරින් ගීතයේ මේ කොටස තුල කථාවේ මෙතෙක් නොකී තවත් සංවේදී හැඟුම්බර පැතිකඩක් විවර කරන්නට උත්සාහ දරනවා වැනිය. ඇත්තෙන්ම ඇයගේ වියෝවෙන් පසුව ඔහුගේ කැදැල්ල තුලට වෙනත් ආලෝකයක් ඔහු පතන්නේ නැත. එතරම් ඔහු ඇගේ අතීත මතකයට පෙම් බඳී. කෙසේ වෙතත් ඇය මිය යන විට ඔහුට ඇයගේ මතකය සමඟ නිතැතින්ම එක් විය හැකි ද්වාරයක් ඇය විවර කර දී ඇත. ඒ ද්වාරය අභියස සිටින්නේ පුංචි මල් කැකුලකි. ඇත්තෙන් සුරතල් දරු සිඟිත්තෙකි. ඔහුගේ විඩාබර දෙනෙතට මදකට හෝ ආශ්වාදයක් ගෙනෙන්නට ඇය කෙරෙන් ඔහුට උරුම වූ මේ දායාදය සමත් වෙයි.
ඉතින් මේ අපූරු පද වැල් ගෙතුම ප්‍රියනන්ද විජයසූන්දර මහතාගේ අතිනි. සංගීතය හා ගායනය යන දෙකම විශාරද අමරසිරි පීරිස් මහතාගෙනි.

Friday, March 11, 2016

නොසිතූ විරාමය...


නොසිතූ විරාමය...


සිටියෙමි බසය එනතුරු මා ඉවසාලා............

දසුනක් නැගුනි එකවිට මා කලඹාලා...........
සපුමල් කියා නුපුරුදු නමකින් අමතා..........
කෙල්ලෙක් දැවටුනයි මා වෙත ලං වීලා.......

මගෙ නම වෙනත් එකකිය මා පවසාලා.........
සිටිනට ට්‍රයි කලත් ඇයගෙන් වෙන් වීලා........
මගෙ වෙත ඇය ඇදෙයි නෙතු යුග කරකවලා..
දැන්නම් ඉතින් මම ෆුල් හොල් මන් විලා.......

මදකින් මදක ඇය මා වෙත ලං වූවා............
කාටත් හොරා මගෙ සුරතින් අත තැබුවා......
සිතුවිලි මා වටා දුවමින් මොර දුන්නා...........
නොදැනිම මමත් ඇගෙ උගුලට හසු වූවා......

ක්‍රමයෙන් ක්‍රමය අඩ අඳුරක් ආවා................
මෙහාතින් මොහොත ඈ මා වෙත ලං වූවා......
දසුනින් දසුන ඇය මගෙ සිතු විලි ගත්තා........
නො‍ලැබුන උනුහුමක් වෙනුවෙන් බිල ලිවුවා..

කාසි කොල සමග ඒ රැය එලි වූවා.............
කඩින් කඩ හදට කැලලක් මතු වූවා...........
සිතින් සිත සිතුම් හද තුල සිර කෙරුවා.......
හිතින් දුක දරා ලොව තුල කල් ගෙවුවා......

මගෙ උරුමේ,


රැකගමි සොඳුර ඔබ වෙනුවෙන් මගෙ උරුමේ


නෙතින් කඳුළු බිම සිපගත් ඒ මොහොතේ...........
ඊ ලඟ නෙතත් උනු කඳුලින් බර වූයේ................
නෙතු යුග ලෙසින් ජීවත් වුනු අපෙ ලෝකේ.........
ඔබෙ උනුසුමත් අද මා ලඟ නෑ සොඳුරේ..............

සිනහව සමඟ ඔබ සැතපෙයි මල් යහනේ..............
කඳුලැලි වට කරන් හඬවයි මගෙ සිහිනේ..............
උනුසුම සොයා ඔබෙ පුතු අද මගෙ තුරුලේ...........
සෙනෙහස යදිනවා මවකගෙ හද ගැඹුරේ...............

රැකුමට හැකි නමුත් මගෙ පුතු මේ ලෝකේ............
කෙලෙසක දෙන්නෙමිද මම ඔබෙ මවු සෙනෙහේ....
නිකැලැල් ලොවක ඔබ මට දුන් දායාදේ................
රැකගමි සොඳුර ඔබ වෙනුවෙන් මගෙ උරුමේ.........

සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..

සිහින සිතුවම්





සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවම් පෙලකි..

සිහින කුමරියනි.



පවසන්න සිහින කුමරියනි.....!!

ලියූ පද වැල් නුඹව විමසන
සිතුම් මල් නිති කිනිති ගන්වෙන
නිහඬ මැදියම නින්ද නොම එන 
අරුම කිම පවසන්.........
අරුත කිම පවසන්.........

සිනා හසරැලි මුවෙහි සැරසුන
නෙතු අගට ආ පුංචි කඳුලැලි
නුඹට රහසින් මටද දනවන
අරුම කිම පවසන්.........
අරුත කිම පවසන්.........

මගේ සිහිනෙක පුංචි කමරිය
නෙතු ලඟම හිඳ පෑව මදහස
මගේ මතකයෙ තවම මැවෙනා
අරුම කිම පවසන්.........
අරුත කිම පවසන්.........

සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..

බිඳුනු හදවත.


සිතුවිලි සිර කර බිඳුනු හදවතක..
නොලැබෙන පෙමකට පෙරුම් පිරුව මම..
සිහින අසපුවක,
මතක මැදුර  වෙත දුටුව සිහිනයක,
ඔබ කුමරිය වූවා. //

මනාලියක ලෙස ඔබ සැරසී අද..
මගේම මිතුරෙකු අතිනත අරගෙන..
කුලගෙට පිවිසෙන  මංගල දිනයේ..
මා තනි කම වින්දා..//

සිතුවම් කර ඔබ හදෙහි නොමැකි ‍ලෙස.
සෙනහස පුද කර මැවු සිහින ලඟ..
නොලැබෙන පෙම් ලොව..
සිහින පවුරු මැද..
මා අසරණ වූවා..//

සිහින සිතුවම් නමින් 2011 දී කල සිතුවමකි..

Thursday, March 10, 2016

විහඟ ගීතය නිහඬ ඇයි..?


විහඟ ගීතය නිහඬ ඇයි..?

1988- 1989 භීශන යුගය,...... විවිධ වූ දේශපාලන අරමුනු වෙනුවෙන් දහස් ගනනින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දිවි පිදූ ඒ අඳුරු යුගය ගැන ඔබ තුල යම් මතකයක් තිබෙයිද? නොඑසේනම් අසා ඇතිද? මිනිසෙක්ට තබා සතෙකුටවත් ඉහිලිය නොහැකි තරමේ වධ බන්ධනයන්ගෙන් පීඩිතව ටයර් සෑ මත පන පිටින් දැවී ගිය තරුණ තරුණියන් විලාපය කෙසේ වන්නට ඇතිද? සහෝදරයෙකුට සහෝදරයෙක්, දරුවෙකුට පියෙක්, බිරිඳකට සැමියෙක්, මවකට දරුවෙක් නැති කල ඒ පාපී ඉතිහාසය
 උනුසුම් ලෙයින් ලියා තබන්නට එවකට පාලකයන් හා නොමිනිසුන් ක්‍රියා නොකලා යැයි කාට නම් කිව හැකිද?

කෙසේ නමුත් මා යම් දිනක අසා ඇති තරමින් මේ ගීතයේ මූලික හරය සපයන්නේ, 1989 භීශන යුගයයි. තවද මෙම යුග ගීය සාමාන්‍ය තරුණියක හා වරෙක සටන වෙනුවෙන් කැප වූ තරුණයෙකු අතර ගොඩ නැඟෙන දෙබසක් යැයි මට හැඟේ. (මෙහි එන සියළු තර්ක මා ගොඩ නඟන්නේ ඒ මත සිටයි.)

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

ඇය නඟන පැනයකි. එය එවකට තරුණයන් සමාජවාදී බල අරගයලයක් වෙනුවෙන් සටන් කල යුගයකි. එහිදී පෙරමුණ ගත් තරුණ තරුණියන් හඬ නැඟුවේ සමාජයේ යහ පැවැත්ම උදෙසා මිස පුත්ගලික යහ පැවැත්මක් උදෙසා නොවෙයි. මෙහි එම හඬ නැඟුම ඇය විහඟ ගීතයක් ලෙස ඉදිරි පත් කරයි. එහෙත් එම නිර්ධන පංතියේ නැගී ආ හඬ මැඩලීමට එවකට පාලකයන් කටයුතු යෙදූ බව කාටත් නොරහසකි. එවකට කථා කිරීමේ නිදහසක් පවා නොතිබූ යුගයක් බව අප අමතක නොකල යුතුය. ඇයගේ “කියනු මැන කොඳුරා“ යන යෙදුම තුල ඒ බව මනාව වටහා ගත හැක.

නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

ඇත්තෙන්ම එවකට නිර්ධන පංතියේ තරුණ තරුණියන් දහස් ගනනින් මේ බල අරගලය වෙනුවෙන් දිවි පුදා ඇත. ඔවුන්ගේ, ඇය පැවසූ විහඟ ගීතය ඇස් මානයෙන් නොපෙනෙන සිර කුටි වල සැඟවී වී නිහඬ සුසුමක නැවතී ඇත. මෙය ඔහු ඇයට පවසන්නේ එලෙසිනි.

ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී

මේ තුලින් එවකට සමාන්‍ය ජන සමාජය තුල වූ භීතිය මෙයින් කියා පාන්නට ඇය උත්සාහ කරනවා වැනිය.

අඳුර රජවී අනේ දුනු හි ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී

පෙරමුණ තරුණයන් කෙරෙන් ආ ආලෝකය පරයා නැඟුනු පාලකයන්ගේ කුරිරු අඳුරු පාලනය, තවත් නැගී එන තරුණයන්ගේද හඬද ගොළු කර දමන්නට සමත් ව ඇත. එවකට මේ කුරිරු බව තුල සියල්ලන්ම බියෙන් ත්‍රස්තව සැඟවී නිෂ්ශබ්ද වී සිටින්ට වූ බව මෙහිදී අප අමතක කල යුතු නැත.

කඳුළු වගුරා පහුරුගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා

ඇය නැවත අසන පැනයකි. මේ තරම් වේදනා විඳ කෑ ගසා දිවි දී සොයා යන විමුක්තිය ගැන ඇය ප්‍රශ්න කරයි. නමුත් මොවුන් දිවි පුදා සටන් වදින්නේ වඩා යහපත් වූ සමාජයක වඩාත් උසස් වූ විහඟ ගීයක සුගායනයක් ඇති කිරීම වෙනුවෙන් බව ඇය දනී. (ප්‍රගීතය යන්නේ තේරුම “උසස් ගීතය මිහිරු ගීතය“ යන්නයි.)

පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ

ගීතය අවසානයේ ඔහු ඇයට ඇරයුමක් ගෙනෙන සෙයක් පෙනෙයි. මේ අඳුරු පාලනයෙන් මිදී වඩා නිදහස් වූ සමාජයක මිහිරියාව විඳ ගන්නට විහඟ ගීතය නැවත ඇති කිරීමට එක් වන්න යැයි ඔහු ඇයට කියනවා වැනිය.

කෙසේ නමුත් මෙම අපූරු පද මාලාවේ සිත්තම් කරුවා වන්නේ නිලාර් එන්. කාසිම් මහතායි. මියුරු සංගීතය‍ේ දායකත්වය ඇත්තේ එච්.එම්. ජයවර්ධන මහතාගෙනි. මියුරු හඬ පෞරශවයේ උරුමකම් කියන්නේ, ප්‍රවීන ගායන ශිල්පීන් වන අමරසිරි පීරිස් මහතා සහ මාලිනී බුලත්සිංහල මහත්මියයි.
(මා ඉදිරිපත් කලේ, ගීතය මා අසා ඇති අයුරින් මගේ රස වින්දනයට ගෝචර වූ ආකාරය පමණි.)

ගීතය වෙත...
https://www.youtube.com/watch?v=Oyjp3ZNLdVY

බලන්න නන්දා...



බලන්න නන්දා...

අනිත්‍ය,.... ලෝ දහම තුල නොවෙනස් වන එකම ධර්මතාවය වෙනස් වීම (අනිත්‍ය)

පමණි. අද මේ මොහොත තුල ඔබ දැන් දකින මා තව මොහොතකින් ඔබට දැකිය නොහැකිය. ඔබ ගත කල ඒ එක් සුළු මොහොත පවා ගෙවී ගොසින් අවසන්ය. එසේම සියළු සංස්කාරයන් වෙනස් වන සුළුය. සියළු සංස්කාරයන් නැසෙන සුළුය. සුවඳ විලවුන්
තවරා රකින මේ පංචස්කන්ධය වුවද දිනෙක වැහැරී යයි. දිරාපත් වෙයි. අප මෙය
තේරුම් ගෙන කටයුතු කල යුතුය.

ඇතැම් විට මෙයද ඔබ නෑසූ ගීතයක් විය හැකී. මෙම හරවත් ගීය සමාධි සිතින් යුතුව විඳ ගන්නට යැයි මා ප්‍රථමයෙන් ඔබ සැමට ආරාධනා කරනවා.

ඇය නමින් නන්දා ය, අතිශය රූමත් මේ තරුණිය විවාහ වන්නේ එලෙසින්ම කඩවසම්
තරුණයෙකු සමඟයි. දින සති මාස අවුරුදු ගනනින් ඔවුන්ගේ ජීවිත ගෙවී යයි.
දැන් ඔවුන් මහළු සමයට පා තබා අවසන්ය. දිනක් මේ වියපත් මිනිසා තම වැහැරී
ගිය භාර්යාව දෙස බලා හිඳී. ඔහුට තම භාර්යාව හා පෙමින් බැඳි අතීතය
සිහිවෙයි. ඇයගේ වූ සුරූපී බව ඔහුට සිහි වෙයි. නමුත් කාලය සියල්ල සියල්ල
වෙනස් කර ඇත. ඇය දැන් මැහැල්ලකි. ඔහු ඇයව මේ වන විට දකින ආකාරය මේ ගීතයේ මූලික කථා තේමාවයි.

“ආතුරං අසුචිං ඵුතිං - පස්ස නන්දෙ සමුස්සයං
අසුභාය චිත්තං භාවෙහි – එකග්ගං සුසමාහිතං”

මේ ගීතය තරමක වෙනස් බවක් මට හැඟෙයි. ගීතයට ආරම්භයට පෙර ගාථා පාඨයක් යොදාගෙන ඇත. එයට පාදක වන කථා පුවත ඉතාම කෙටියෙන් මෙහි සඳහන් කරන්නම්.

බුදු හිමියන් විසූ කාලයේ නන්දා නම් සුරූපී තරුණියක් විය. ඇය ශාක්‍ය වංශයේ
තම සුරූපී බව පිලිබඳව යම් මදයෙන් ඔද වැඩුනු ස්ත්‍රියක් විය. ශාක්‍ය වංශික
රාහුල කුමරුවන්, නන්ද කුමරුවන්, මහා ප්‍රජාපතී ගෝතමිය, යශෝදරා දේවිය
අනුක්‍රමයෙන් පැවිදි බිමට එලබි පසු නන්දා නම් ඇය ද මහාප්‍රජාපතී ගෝතමිය
හමුවේ මහණ දම් පිරීමට එලඹිනි. නමුත් ඇයට පැවැදි දිවිය තුලද ඇගේ රූප
ශ්‍රියාව පිලිබඳ වූ අධි මාන්නය දුරු වූයේ නැත. නමුත් බුදු රජානන් වහන්සේ රූප
ශ්‍රියාවට ගරහන බව ඇය දැනසිටියාය. එබැවින් ඇය කිසි විටෙක බුදු රජානන්
වහන්සේ වෙත නොයා සිටියාය. මේ බව බුදු නුවනින් දැනගත් බුදු හිමියන් නන්දා
තෙරනියට තමන් හමුවීමට එන ලෙස දන්වා යැවීය. නන්දා තෙරණින් වහන්සේ ඒ අනින්
බුදු හිමියන් අභිමුවට පැමිණුනි. එවිට බුදු හිමියන් පසෙකින් ඉතාමත් අති
සුන්දර වූ ශ්‍රියා කාන්තාවක් වන් රුපයක් මවා ක්‍රමයෙන් ඇය මහළු වී වැහැරී
යන අයුරු නන්දා තෙරණියට පෙනෙන්නට සැලැස්වීය. එය දැක නන්දා තෙරණිය අනිත්‍ය
සියල්ල වටහා ගන්නට විය. එම අවස්ථාවේ බුදුන් වහන්සේ ඇයට දේශනා කල පෙර සඳහන් කරන ලද ගාථා පාඨයේ අරුත මෙලෙසයි.

“පින්වත් නන්දා, නිතර ලෙඩදුකින් පෙළෙන කුණු වී යන පිළිකුල් ශරීරය දෙස
නුවණින් බලන්න. සිත හොඳින් එකඟකොට පිළිකුල් භාවනාව වඩන්න. (මේ එම ගාථා
පාඨයේ අරුතයි.)

බලන්න නන්දා මේ උඹේ ගුහාවයි..
පර මල් අතුරන්න නන්දා මේ උඹේ ගුහාවයි...

ඉන් පසුව පැමි‍නෙන්නේ ගීතයේ ආරම්භයයි. වැහරී ගිය ඇගේ ශරීරය නැමති ගුහාව
මෙහිදී ඇගේ ස්වාමියා මැනවින් දකී. එහි වූ ලාලිත්‍යක් වටිනා කමක් මේ වන
විට නැත. එසේම පරමල් වලද ඇති පලක් නැත. මෙහද පරමල් යොදා අනිත්‍යයේ අරුත
තවිත් තීවර කර ඇත.

අක්බඹ මුහුලේ හැඩපලුව වැරහැලි වීයේ..
මල් සේ දෙතොලේ සුදුමැලිව පිපිහලු වීයේ...
මේ උඹයි නන්දා...
පර මලේ මකරන්ද ඇත්දා..?

අතීතයේ වූ ඇයගේ අක්බඹරු වන් හැඩ පළු ගැසුනු කොන්ඩය සුදු වී ඇදී ඉතරිව
විනාශ වූ කෙස් කළඹ පිලිබඳ ඔහු සිතන්නට වෙයි. මල් පෙති දෙකක වන් වූ ඇගේ
දෙතොලේ වර්ණවත් බව දැන් වියැකී ගොසිනි. ඇත්තෙන්ම ඒ ඔහුගේම නන්දා නම්
බිරිඳගේය. ඉතින් මේ පර වූ මලක බඳු ශරීරයේ වටිනාකම කුමක්ද යැයි මේ මහළු
ස්වාමිපුරුශයා සිතන්නට වෙයි. (අක්බඹ හැඩපළු මුහුල යනු කැරලි ගැසුනු කෙස්
කලඹ වෙත තවත් නමකි.)

කුඹු හස ළමැදේ තුඩු පර වියැදී ගියේ...
බෙල්ලේ උකුළේ දර හැව ව ගිලිහී ගියේ...
මේ උඹයි නන්දා..
පර මලේ මකරන්ද ඇත්දා..?

ඇයගේ කුම්බස්තලයක මැද සිටි හංසයන් යුවලක් වන් වූ පියයුරු දැන් දැකීමද ප්‍රසන්න
නැත. බෙල්ල උකුල ආදී සැම තැනකම ඇට, නහර පෑදී දර හැවක් බඳු වී ඇත. ඇයව
දකින මේ මොහොතේ ඇගේ ස්වාමි පුරුශයා සියළු සංස්කාරයන්ගේ අනියත බව මෙනෙහි
කරන්නට වෙයි.

ලොව සදාතනික නිර්මල බුදු වදනේ ගැඹුරු හරය වන අනිත්‍ය මෙම ගීතයේ හරි අපූරුවට මතු කර ඇත. මෙම හරවත් ගීතයේ පද වල හිමිකරුවා කවුරුන්ද යන්න මා හරි හැටි නොදනිමි. මා නිවැරදි නම් සංගීතය ප්‍රේමසිරි කේමදාස මහාතාගෙනි. කෙසේ නමුත් මෙහි ගැඹුරු හඬ මුසුව අමරසිරි පීරිස් මහතාගෙනි.

හන්තාන අඩවිය.



හන්තාන අඩවිය...

හන්තාන..., නැවත වරක් මට හිතුනා හන්තාන දෙසට ඇදෙන්නට. හන්තාන කියූ සැනින් මගේ මනස තුල සිතුවිලි වටා චිත්‍රනය වන්නේ පේරාදෙනිය සරසවියයි. එහි රාේස පැහැති මලින් බර වූ රොබේසියා ගස, එලිමහන් රගහල, අවට මලින් බර වූ මනස්කාන්ත පරිසරය, මැනවින් වාස්තු ශිල්ප පෑ සරසවි මැදුරු, එහි සරන සොඳුරු අදස් දරන්නා වූ දහසකුත් මානව මානවිකාවන්, ඒ අතර වන පෙම්වතුන්. අති සුන්දර දසුන් පෙලක් නොවෙයිද? එහෙත් මදකට අප සිතුවාද? අපට අසුරු ස
ැනින් චිත්‍රනය වන එම සිතුවිලි දාමය තුල යථාර්ථයේ කෙතරම් කොටසක් වසා සිටිනවාද කියා?

මේ ඒ වසන් වූ යථාර්තයක් පිලිබඳ විමසා සිටින ගීතයකි.
විමසා සිටින ගීතයකි.

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සදළුතලා පිස මේ එන්නේ
පේමයේ සුවද නොවේ
හන්තාන අඩවියේ
ඇත්තෙන්ම සරසවියට ඇතුලත් වීම හැම දෙනෙක්ටම සිහිනයකි, එහෙත් එහි තුල වන යථාර්ථය පෙනෙනවාට වඩා වෙනස් වෙයි, මේ සොඳුරු පරිසරය තුලින් මතුවන්නේ ප්‍රේමයේ මියුරු ආශ්වාදය පමනක්ම නොවෙයි. විරහවේ වේදනාව පමනක්ද නොවෙයි. එමෙන්ම සෞන්දර්යේ සොඳුරු සිත්තම් පමණක්ද නොවෙයි.

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසග සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කළා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි

අපි ‍නොදකින ඇත්තෙන්ම දකින්නට උත්සහ නොකරන සත්‍යක් මේ තුල කියා පායි. මෙහි එන විද්‍යාර්ථයන්ගෙන් බහුතරය, එහි හොස්ටල් වල නැවතී තුන් වේලෙන් දෙවේලක් කා ගෙවන ජීවිතයේ කටුක බව අපෙන් වසන් වී ඇති බව අපට අමතකය. එලෙසින්ම හෙට ගැන ඔවුනට ඇත්තේත් මහ මෙරක් වන් සිහින බලාපොරොත්තු නොවෙයිද, උපාදිය සම්පූර්න කර හෙට දිනයේදී සමාජගත වන ඔවුනට ඒ සඳහා සුදුසු රැකියාවක් ලැබෙයිද යන්න පිලිබඳ 100% තහවුරු කල නියතයක් අප සමාජයේ තිබෙනවාද? එවන් අනියත හෙටක් උදෙසා වෙහෙසෙන මේ මානව මානවිකාවන්ගේ මනසේ පීඩනය කෙබඳුදැයි අපට විග්‍රහ කල හැකිද?

පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා මානව මනවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි ප්‍රේමයේ සුවද නොවේ.

සියළු පීඩනයන් එලෙස තිබියදී නිදහස් අද්‍යාපනය නම් දරුවා වෙත පාලකයන් පාන කුඩම්මාගේ සැලකිල්ල තුල මේ විද්‍යාර්ථයන්ට නිදහස් අද්‍යාපනයේ දහසකුත් එකක් ගැටළු වන්නට ඇත. ඒවාට නිසි විසඳුම් ලබාගන්නට සටන් කර මේ මානව මානවිකාවන් කොතෙක් ලේ හලන්නට ඇතිද? ඊට පෙරමුණ ගත් මානවකයන් පාලකයන්ගේ මර්ධනකාරී පිලිවෙත නිසා කොතෙක් නම් දිවි පුදන්කට ඇතිද? ඔවුන් හැළු ලේ මතින් රැකුනු නිදහස් අද්‍යාපනය තුල ශිල්ප හදාරන මේ පීඩිත මානව මානවිකාවන්ගේ ජීවන සුවඳ ඔබට මදකට විඳිය හැකිද?

තරමක රැඩිකල් හුරුවක් ඇති මෙම අපූරු පද මාලාවේ හිමිකරු වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. මියුරු සංගීතය මර්වින් පෙරේරා මහතා විසිනි. ගායනය විශාරද නන්දා මාලිනී මහත්මියගේ සුමියුරු හඬිනි....

https://www.youtube.com/watch?v=-ON8OgXEKvY

බලන්න නිරුවත් දෑසින්.


කන්‍යාවී...


ස්ත්‍රිය,.... වරෙක දියනියක්, වරෙක බිරිඳක්, වරෙක මවක්. තවත් වරෙක මිත්තනියක්. ඒ ඇයගේ ජීවන පෙරලියේ අවස්ථාවන්ය. වචනයට නැඟිය නොහැකි තරම් වූ සංවේදී අවධින් ඇය එම ජීවන පෙරලිය තුල පසු කල යුතුය. රළු පරළු කටෝර සියල්ල ඇය ඇගේ සියුමැලි සිතින් විඳ දරා ගත යුතුය. ඊට අර්ථ පූර්ණය කිරීමට තරම් දැනුමක් මා සතු නොවෙයි. 


සිටු මැදුර චිත්‍රපටයේ ආ මේ ගීතය තවත් එක් කන්‍යාවියකගේ ආත්මීය වැලපීමක් කියා පායි.

ඇය දුප්පත් පවුලක සුරූපී දියනියකි. අග හිඟ කම් නිසා ඇය මහ මන්දිරයක මෙහෙකාර සේවයට යන්නට තීරණය කරයි. ගත වන්නේ ටික දිනකි. ඇයගේ නිකැලැල් බව ඉඳුල් කරන්නේ ඒ මන්දිරයේ හාම්පුතාය. එහෙත් ඇයට සියල්ල වසන් කර හිඳන්නට වෙයි. ඒ ඇගේ අසරණ කම නිසායි. තත්වය එසේ තිබියදීත් ඇයට නැවත නැවතත් තවත් පිරිමින් හට ඉඳුල් වන්නට සිදුවෙයි. ඇයට අන් කල හැක්කක් නොවෙයි. ඇයගේ ඉරනම ඔවුන් තීරණය කර අවසන්ය. සැමට කෙලි බඩුවක් වන ඇය මේ සියල්ල උපේක්ෂා සහගතව විඳිමින් ජීවිතයට මූන දිය යුතුය. (මේ මට මේ ගීතය තුල හැඟෙන සංශිප්තයයි.)

මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

රාග ද්වේශ මෝහ නැමති මරණ තුනම දෑතින් තුරුළු කරගත් ක්ලේශ රාගයෙන් බරිත මිනිසෙක්. ඇත්තෙන්ම ඔහු කා දෙසද මේ බලා හිඳින්නේ? ඇය එතෙක් තවත් එක් කන්‍යාවියන්. ඔහුගේ රාගය, ඇයට සමාජ සම්මුතිය, සභ්‍යත්ව නැමති කඩ තිර දෑසින් උනා තබා නිරුවත් දෑසින් සිදුවන විපත විඳ දරාගන්නට යැයි කරන ඇරයුමක් වැනිය. ඇයගේ සළු එකින් එක ලිහිල් වී බිම වැටෙද්දී, තිසර පට අතරින් පයෝදර හඬා වැටෙද්දී ඇගේ අභිමතය නොවුවද කෙලෙසා දැමෙන්නේ රන් හා වන් පවිත්‍ර බවයි. කෙසේ නමුත් සිදුවූ විපත විඳගෙන ඊට අනුගත වී ඇය ජීවිතය ගෙනයා යුතුය. ඇයට ඒ හැර කල හැකි අන් දෙයක්ද නොවෙයි. ( මෙහි “වයන්න වීනා“ යන්න තුල ද්වනිථාර්ථයක් මා හට හැඟෙයි. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කල බව අප අසා ඇත්තෙමු. මෙහිද වීනාව උපමා කොටගෙන‍ මෙතරම් විනාශයක් සිදු වූ ඇයට එය නොසලකා හරින මෙන් කරන යෝජනාවක් වැනිය.)

නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

ඔබ වරෙක නියඟලා මල දැක තිබෙනවාද? එහි වන්නේද දේදුනු වර්නයෙන් වන විචිත්රත්වයකි. ඇගේද එවන් විචිත්‍රවත් වූ ජීවිතය මේ වන විට වරින් වර පැමිනෙන ගිරා කෙවුලන් බඳු මිනිසුන් කෙරෙන් විනාශ වී යයි. නිකැලැල් පියුම් කැකුලක වන් වටිනාකම ඇයගෙන් වියැකී යයි. සුදෝ සුදු හංසයෙකුගේ වන් පවිත්‍රතාවය ඇය කෙරෙන් දිනෙන් දින කෙලෙසී යයි. නමුත් ඇයට දැන් ආපසු හැරීමක් නැත. ඇය ජීවත් විය යුතුය. ඒ සඳහා ඇය දැන් තුටු සිතින් රසා තලය නැවත කල එලි කරමින් අගේ ජීවන වීනාව නැවත වැයිය යුතුය. අවසාන වශයෙන් ඇයව ගනිකාවකට ලඝු කිරීමට මා සිත් දෙන්නේ නැත. නමුත් සමාජය තුල ඇය ලබන ගැරහුම එය නොවෙයිද?

ඉතින් වරෙක මා හට විසඳාගැනීමට ප්‍රෙහලිකාවක් බඳු වූ මේ අති සූක්ශම පද අමිනුමේ ගෞරවය හිමි වන්නේ ලූශන් බුලත්සිංහල මහතාටයි. මෙහි අති මියරු සංගීතය ප්‍රේමසිරි කේමදාස නම් අසහාය ගාන්ධර්වයාගෙනි. ගැඹුරු හඬ පෞර්ශවය අමරසිරි පීරිස් මහතාගෙනි.

(මෙය, චිත්‍රපටය නම් සීමාවෙන් පිටත සිට මා ගීතය රසවින්දනය සඳහා ගෝචර කරගත් ආකාරය පමණි.)

https://www.youtube.com/watch?v=AepoZHf9x58

සිනාසියන් පුත,


සිනාසියන් පුත කිරිදත් පෙන්නා මා අමතන විට සුරතල් පුතේ කියා.


සෑම දරුවෙක්ම මිහි මවට එක හා වන් සම්පතකි, ඊට දුප්පත් පොහොසත් කම් බලපාන්නේ නැත. යදින්නකගේ වුවත් රැජිනකගේ වුවත් දරුවන් යනු අහිංසක සිත් ඇති විකසිත නොවූ පුංචි මල් කැකුළු මය, සමාජ විශමතාවය, සමාජ අසාදාරනය, හා සමාජ කෘරත්වය තුල ඒ විකසිත නොවූ පුංවි මල් කැකුළු වසන්තයට පෙර විනාශ වී යනවා නම් කෙතරම් කනගාටු දායකද? වරද කොතැනක සිදු වුවත් වන්දිය පුංචි මල් කැකුලක අනාගතය නම් අප ජීවත් වන සමාජය කෙතරම් ශිෂ්ඨ සම්පන්නදැයි
 නැවත සිතිය යුතු නොවෙයිද?

නැවත සිතිය යුතු මේ සංවේදී සමාජ සංසිද්ධිය පිලිබඳව කලෙකට ඉහතදී ආචාර්ය අජන්තා රණසිංහයන් තම පද වැලක මෙසේ ලියා තබන්නට විය. මෙහි ගී තනු ස්ටැන්ලි පීරිස් මහතාගේ හා ගායනය මිල්ටන් මල්ලව ආරච්චි මහතාගේ මියුරු හඬිනි.

♪ වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා.. ♪ ♫
මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ

මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නලවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා..

වීදි කොනේ... ♪ ♫

පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා..
වීදි කොනේ... ♪ ♫

හන්තාන සිහිනය


හන්තාන සිහිනේ...


සරසවිය......, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?

මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.

ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?

බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.

දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ.
තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.

ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.

https://www.youtube.com/watch?v=fuJRbIFjWfY

සඳ ගිරි පව්ව උසයි

සඳගිරි පවුව... දෙමවුපියන්ට අකීකරු වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? විවාදයක් නෑ ඒක නරක දෙයක් නේ. ඒත් අද සමාජයේ මේ විදිය අකීකරු වීම් බොහොම සුලභයි. හරි, මං දැං ඔබ වෙත ගෙන එන ගීතයේ වස්තු බීජය දෙසට හැරෙන්නම්. ඇය රූමත් තරුණියක්. ඇය දිනක ඇයට හමුවූ තරුණයෙකු හා පෙම් සබඳතාවක් පටන් ගනී. ඇය ඔහුට බොහෝ සෙයින් පෙම් කරයි. ඇත්තෙන්ම ඇයට හිමි සඳ කුමරා ඔහු යැයි ඇය වටහා ගනී. දැන් ඇයගේ එකම සිහිනය සඳ ගිරි පවුව වන් වූ කිඳුරු කොදෙවුක සුවදායක නවාතැන්පලක තමන් පෙම් කරන ඒ සඳ කිඳුරා සමඟ ජීවිතය බෙදා ගැනීමයි. කෙසේ වෙතත් කාලය ගෙවෙද්දී මේ පෙම් හබය පිලිබඳ ඇයගේ මව දැනගනී. මව එයට තදින්ම විරුද්ධ වෙයි. තරුණිය සිය මවට අකීකරු වී සිය ජීවිතය පිලිබඳ තීරනාත්මක තීන්දුවක් ගනී. ඇය තම පෙම්වතා සමග සිය සිහන මැවූ ලෝකය වෙත පියමන් කරයි. ගත වන්නේ අල්ප කාලයකි. ඇය තරනය කරන සඳ ගිර ඇයට ඔහු හා තරනය කිරීම බැරි බව ඇයට තේරුම් යයි. ඇත්තෙන්ම තම පෙම්වතා වරදට පෙලඹුනු කෙලිලොල් අයෙක් බව ඇයට තේරුම් යන්නේ කාලයත් සමඟයි. ඔහුගේ සතුට වන්නේ රාත්‍රී සමාජශාලා හා වෙනත් ස්ත්‍රියන් ඇසුරයි. එලෙසින්ම ඇයට ඔහුගේ නොයෙකුත් වධ බන්ධනයන්ටද යටත් වීමට සිදුවෙයි. කෙමෙන් ඇයට කුල ගෙය ගිනිගෙයක් බවට පත් වෙයි. ඒ වන විට කිසිඳු හවු හරනක් නැති ඇය නැවත සිය මව සොයා යයි. ඒ අවස්ථාවේ ඇයගේ හදෙහි නැගෙන ශෝඛාලාපය මෙම ගීතයට පදනම සපයයි. සඳ ගිරි පව්ව උසයි කිඳුරා හරිම වසයි මම ගෙදර එන්න ආවා අම්මේ.. දොර අරින්න නුඹ විතරයි ඉන්නේ…. ................................................. රත්තරන් කියා කඩු තුඩ මං ඇන ගත්තේ පපුවට නුඹ එපා කියද්දී ම යි අම්මේ ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ….. ................................................... සල් පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර මට අරුමෝසම් හුරු නෑ අම්මේ නිය පහුරු වැදුනු හිත බලපන්නේ…..... .................................................. ඉතින්, කොහොම වුනත් අවාසනාවකට මේ අපූරු අරුත් බර ගීතය බොහෝ දෙනා අතර වැඩි ප්‍රචාරය නොවුනත් බොහොම ලයාන්විත වචනයේ අරුතින්ම අපූරුතම ගීයක්. මෙහි පද රචනය ප්‍රවීන ගීත රචක රවී සිරවර්ධනයන්ගේ, සංගීතය දර්ශන වික්‍රමතුංගයන්ගේ, එ් වගේම ගායන ශානිකා සුමනසේකර මහත්මියගේ ලයාන්විත හඬින්. එසේනම් ඔබට ආරාධනා කරනවා මේ ගීතයේ රස පහස විදින්නට.

අලුත් පාර හැදෙනවා

අලුත් පාර හැදෙනවා....
"ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා" එතරම් ප්‍රසිදියක් නොවුනද තවත් හදවතින් විමසා සිටිය යුතු කරුනක් ගැන මතු කරන මෙම අපූර්ව ගීතයේ පද මාලා කුමරදාස හපුතන්ත්‍රි මහතාගේ, සංගීතය රොහන වීරසිංහයන්ගේ, ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ, ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා අලුත් පාර හැදෙනවා අනුන්ගේ දේවල් හොරා කන මේ සමාජයේ අදටත් තමුන්ගෙ දාඩිය මහන්සිය වගුරවා, ජීවිතයේ කටුක බව දෑතින් දරාගෙන දෛවය වෙත සිනා පාන මිනිස්සු නැතුවාම නොවෙයි. මහ රූස්ස තුරු වනයක් මෙන් වූ සමාජයක එසේ නොවුනු ලඳු කැලෑවක් බඳු වූ වැඩ කරන පංතියේ දුප්පත් මිනිස්සු, හැමදාම වගේ ඔවුන් ඉදිරියේ වන මහා විශාල බාදක බිඳ ඉදිරියට තනන මං මාවත් තුල, තනන මාලිගා තුල ඔවුන්ගේ ශ්‍රමය වගුරුවා කුසගින්න නිවා ගනී. හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා පොළොව දැවී අපේ පයට සිහිල සදනවා දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා
අනුන්ගේ දේවල් හොරකම් කර බඩ වියත රැක ගන්නවා වෙනුවට මහපොලව මත හෙලන ශ්‍රමය ඔවුනට ආශිර්වාදයක්ම යැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන්. ඇත්තෙන්ම ඔවුනට මහ දවල් පායා ඇති හිරුගේ කිරන සෙවන සදනවා යැයි දැනෙනවා විය හැකී. දැවී රත් වූ මහ පොලව ඔවුනට සිසිල ගෙනෙනවා වන්නට ඇති. හමා එන දුහුවිලි මිශ්‍ර සුලඟ ඔවුන්ගේ විඩාව නිවනවා වන්නට ඇති. දෑතේ මතුව එන කර ගැට ඔවුනට දෙතොලට පවන් සලනවා වන් වන්නට ඇති. ඇත්තෙන්ම එය ඔවුන්ගේ ශ්‍රමයේ අමිල වටිනාකමයි. අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා
සත්තකින්ම මහ පාර තුල අතුරන කළු ගල් වන්නේ ඔවුන්ගේ ශ්‍රමය නොවෙයිද? තාර ලෙසින් ඇතිරෙන්නේ එවන් මිනිසුන්ගේ දහඩිය නොවෙයිද? ඒත් එවන් මිනිසුන්ට සමාජය තුල ඒ වටිනාකම ලැබෙනවාද? ඔවුනගේ ශ්‍රමය තුල ගොඩනැඟෙන පාර විවෟර්ත වන්නේ මැති ඇමති වරුන්ගෙ නම් වලින් නොවෙයිද?. ඒත් මහ පොලව මත සටන් වැදුනු ඒ මිනිස්සු පාර දෙස බලා සිටිනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? හරියට සිතුවොත් ඒ මිනිසුන්ගේ නියම වටිනාකම එයද? ඉතින් ඔබට සිතන්නට යමක් ඉතිරි කලා නම් මා සාර්ථක යැයි සිතනවා.

ගගන සරනා සියොතුනේ.


ගගන සරනා සියොතුනේ.... ගහ කොල, ඇල දොල, සතා සිවුපාවා, වගේම මේ ධරණි තලය තුල හැම දෙයකම නියම හිමිකරු කවුද? ඒ පරිසරය, සොභාදහම විණා අන් කවරෙක්ද. මිනිසා යනු එකී පරිසරයේ එක් පුංචි කොටසක් මිස එහි හිමිකරුවා නොවෙයි. එහෙත් ඔහු එය අමතක කොට ඇත. ඔහු එහි පාලකයා මෙන්ම තීරකයාද වී ඇත. තව කොතෙක් කල් මිහිමඬල මිනිසාගේ කුරිරු අකීකරු කම් ඉවසයිද? මේ කියන්නට යන ගීතය එසේ මිහිකත ඉහිලුම් නොදෙන දවසක් ගැනයි. ගගන සරනා සියොතුනේ සොයා තුරු සෙවනක් බලන් මිනිසුන් වැලපෙනා බිම පතා දිය කඳුළක් ගගන සරනා මිනිසුනේ පතා සුව දසුනක් බලන් සියොතුන් වැලපෙනා බිම සොයා තුරු සෙවනක් තුරු සෙවනක් සොයා අහස සිසාරා පියඹා යන සියොතුනේ, නුඹට පෙනෙනවද පහලින්, බොන්නට දිය බිඳක් නැති වාළුකාවක් වන් මහ පොලව මත හඬා වැලපෙන මිනිසුන්. ගුවන ජය ගත් මිනිසුනේ, නුඹට පෙනෙනවාද පහලින්, වසන්නට තුරු සෙවනක් නොමැතිව හඬා වැටෙන සියොතුන්. නුඹට දැනෙනවාද නුඹලා කල පාපකර්මයේ තරම. ගතින් සියොළඟ වසා සිහිලස දී නිවා කුස ගිනි නැවුම් රස පළ දී මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී මිනිසුනේ ඒ වන අරණ ඔබ නමින් දිවි පිදුවේ
පල වැලින් නුඹව නිති පෝශනය කල, විටෙක තම ගතින් සිහිල් සෙවන දී වසාලූ, මවක් වන් වූ මහ වනය අවසානයේ දිවි කැප කලේද ඈ සෙනෙහෙ පෑ නුඹ වෙනුවෙන් නොවෙයිද මිනිසුනේ, ඇයි මිනිසුනේ එවන් මවක් කෘර ලෙස මරා දැමුවේ. වරෙක වත් සිතුවේද ඇය ගැන. නැගෙයි කුස ගිනි පුරන් වූ කුඹුරින් ගලයි ලෝ දිය බිඳුණු වැව් බැම්මෙන් හඬන්නටවත් තෙතක් නැති දෑසින් මිනිසුනේ මේ බලන් මිහිතල හැර ගියා දෙවියන්
අකීකරු නුඹට දැන් දැනෙනවාද මිනිසුනේ, වැසි නොලද පුරන් කුඹුරු වෙතින් හඹා එන ඒ කුස ගින්නේ විලාපය, බිඳුනු වැවු බැම්ම මතින් ගලන ලෝ දිය නුඹට පෙනෙනවාද. කුමක් කරන්නද? හඬන්නට තරම් වත් දෑස තෙත් නොවූ අකාරුණික මිනිසුනේ, නුඹලා කලා වූ ඒ මහා අපරාධය දැක දෙවියන් වුවද මහ පොලව හැර ගොසිනි. ඉතින්, මේ අපූරුතම ගීතයේ පද වැල් අරුත් බර ගීයට පියෙකු බඳු වූ කුමාර හපුතන්ත්‍රි මහතාගේ, සංගීතය විශාරද රෝහන වීරසිංහයන්ගේ, ඒ වගේම මේ ගැඹුරු කටහඬ විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ.

මා වවුලන් රෑ පුරාම


මා වවුලන් රෑ පුරාම.....

පුංචි හිත් මොනතරම් අහන්සකයිද, සැහැල්ලුයිද, සුන්දරයිද, අව්‍යාජයිද. ඒත් සත්තකින්ම ඔවුන් වැඩිහිටියන් වෙද්දි ඒ අහිංසක කම, සැහැල්ලුව, අව්‍යාජත්වය කොයිතරම් නම් සිත් වල ඉතිරි වෙනවාද? ඒ වෙනුවට ඊර්ශයාව, ක්‍රෝදය, වෛරය, තෟශ්නාවෙන් නොවෙයිද ඔවුන්ගේ සිත් පිරෙන්නේ? මිල මුදල් දේපල පස්සෙ නෙමෙයිද ඒ සිත් හඹා යන්න පටන් ගන්නෙ? ඇත්තටම අපිට වරදින්නෙ කොතනද? කොතනද අපිට වරද නිවැරදි කරගන්න පුළුවන්?
ඉතින් දැන් මම මේ පූර්විකාව ගත්තු ගීතය ගැන සටහන් කරන්නම්.
මල්ලියේ, මතකද අපේ පුංචි කාලෙ. ඒ දවස් වල අපි මා වවුල්ලු රෑ තිස්සෙ ගස් යට හලන මී අඹ වල රස බලනවා උඹට මතකද? උඹ නැතිව අද මම අඹ ඇහිඳින්න නොගියත් තවම වෙනසක් නැතිව මා වවුල්ලු ඒ ගස් වලට එනව මල්ලියෙ. ඒත් ඉතින් දේපල මිල මුදල් එක්ක වෙනස් වෙච්ච උඹේ ජීවිතේ, උඹ ආයෙ මාව හොයාගෙන එයිද. ඒ කාලෙ මට මතකයි දර කඩන්න කැලේ ගියහම ලොකු මිනිහා වගේ උඹ ඉස්සර වෙනවා. පස්සෙ පාර වරද්දගෙන මං එනකන් තනියම අඬ අඬ ඉන්නවා. එදා උඹට ඒ දැනුනු තනිකම අද උඹ නැතිව මටත් ඒ විදියටම දැනෙනවා මල්ලියෙ. කාලෙත් එක්ක ඒ දේවල් දැන් වෙනස් වෙලා.
ඉස්සර ලාම්පු නිවලා පැදුරු කොටේ නිදා ගන්න යද්දි මම උඹට හොල්මන් ගැන කථා කියනවා. උඹ මගේ තුරුලෙ ගුලිගැහිලා ඒවා අහන් ඉන්නවා මට මතකයි. ඒත් දැන් උඹ දැන් ලොකු මිනිහෙක්. අනෙක් හැම දේම ඒ විදියට තියෙද්දි අපේ සම්බන්දකම් විතරක් වෙනස් වෙලා නේද?
මේ විදියට අයියා කෙනෙක් තම මලනුවන් ගැන තැවෙන ආකාරය ගීතයක පද අතර ගොනු කරන්න කුලරත්න ආරියවංශයන් සමත් වෙනවා. සංගීතය රෝහන වීරසිංහයන්ගේ, මියරු හඬ පන්ඩිත් අමරදේවයන්ගේ.
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වැහැලා බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා මං එනතුරු හඬා වැටෙද්දී නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා… පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියද්දී මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා… ගීතය වෙත... https://www.youtube.com/watch?v=zXHCO4WOyfo

ආරාධනා...!!


ආරාධනා...!!

ඔබට තනි මාවතක අතරමං විය හැකිද? ඇත්තේ ඉදිරියට යාමක් හෝ නැවත ආපසු හැරීමක් පමණි. වෙනත් මාවතක්ද නොවෙයි.
යම් දිනෙක ජීවිතයේ බරපතල අවස්ථාවක තීරනයක් ගැනීමේදී ඔබ තනි මගක අතරමං වුවොත්.
කථාව සැකෙවින් මෙසේය,

වෟර්තියෙන් ඉංජිනේරුවරයෙකු වන තරුණයෙකු හා රූමත් හෙදියක අතර ආදර සබඳතාවක් ගොඩ නැඟෙයි. හැල හැප්පීම් මැදින් ගලා යන ඔවුන්ගේ ජීවිතයට පෙම්වතාට දාව රූමත් හෙදිය ගැබ් ගනී. මෙයින් කලබල වන හෙදිය තම කලලය නැති කර ගැනීම පිනිස වරෙක යම් ඖෂද වර්ගයක් ලබා ගනී. නමුත් පසුව ගැබ්ගැනීම පිලිබඳව ඇය පෙම්වතා වෙත දන්වයි. ඒ බව දැනගත් පෙම්වතා ඇය හා විවාහ ගිවිසගනී. ඔවුන්ට දාව කුළුඳුල් දරුවා මෙලොව එලිය දකී. එය තරුණ පෙම්වතාට නැවත උපන්නාක් මෙන් සතුට ගෙන දෙන්නක් වේ.

නමුත් අවාසනාව ඔවුන් ලඟම විය. තරුණ හෙදිය කලලය නැති කිරීම පිනිස ලබාගත් ඖෂදය නිසා ඔවුගේ සතුට ඉතා තාවකාලික එකක් වෙයි. දරුවා අකාලයේ මිය යයි. මෙයින් බලවත් කලකිරීමට පත් වන පෙම්වතා අතින් තම පෙම්වතිය නිවසින් පන්නා දමන තැනටම කටයුතු සිදුවෙයි. ඒ වගේම රට හැර දමා යාමට තරමින්ම ඔහුගේ අතීතය ඔහුට වද දෙයි. අවසානයේ ඔහු රට හැර යාමට සියල්ල සූදානම් කරගනී. එහෙත් ඇයව ඔහුගේ මතකයෙන් මකා දැමීමට ඔහුට හැකියාවක් නැත. ඇයගේ මතකය හමුවේ ඔහු තනි මංසලක අතරමං වෙයි. ඉදිරියට යන්නේ නම් ඔහුට ඒ සඳහා මාර්ගය විවරවී අවසානය. ආපසු හැරෙන්නේනම් එයද ඔහුට උත්සහ කල හැක.
ඔබ සිතන්නේ කුමක්ද?

ඔවු. ඔහු ආපසු හැරෙයි. නැවත සිය බිරිඳ සොයා යයි. ඔවුන් නැවත ජීවිතය අළුතින් පටන් ගනී..
ඉතින්, පෙම්වතා පෙම්වතිය සොයා යාමේදී ඔහුගේ මනස තුල පෙම්වතිය වෙත කරන මනෝමය ආරාධනය මෙම ගීතයේ ඇතුලාන්තයයි. විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයට, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය අැත්තෙන්ම දෙසවන පුරා අදටත් ඔබ සැමට එක සේ සිත් ලෙසින් විඳිය හැකි ගීතයක් බව නොඅනුමානයි.

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න..
ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...

ගීතය  වෙත පිවිසෙන්න.
https://www.youtube.com/watch?v=r8tl3ROSF3E