Thursday, March 10, 2016

බලන්න නිරුවත් දෑසින්.


කන්‍යාවී...


ස්ත්‍රිය,.... වරෙක දියනියක්, වරෙක බිරිඳක්, වරෙක මවක්. තවත් වරෙක මිත්තනියක්. ඒ ඇයගේ ජීවන පෙරලියේ අවස්ථාවන්ය. වචනයට නැඟිය නොහැකි තරම් වූ සංවේදී අවධින් ඇය එම ජීවන පෙරලිය තුල පසු කල යුතුය. රළු පරළු කටෝර සියල්ල ඇය ඇගේ සියුමැලි සිතින් විඳ දරා ගත යුතුය. ඊට අර්ථ පූර්ණය කිරීමට තරම් දැනුමක් මා සතු නොවෙයි. 


සිටු මැදුර චිත්‍රපටයේ ආ මේ ගීතය තවත් එක් කන්‍යාවියකගේ ආත්මීය වැලපීමක් කියා පායි.

ඇය දුප්පත් පවුලක සුරූපී දියනියකි. අග හිඟ කම් නිසා ඇය මහ මන්දිරයක මෙහෙකාර සේවයට යන්නට තීරණය කරයි. ගත වන්නේ ටික දිනකි. ඇයගේ නිකැලැල් බව ඉඳුල් කරන්නේ ඒ මන්දිරයේ හාම්පුතාය. එහෙත් ඇයට සියල්ල වසන් කර හිඳන්නට වෙයි. ඒ ඇගේ අසරණ කම නිසායි. තත්වය එසේ තිබියදීත් ඇයට නැවත නැවතත් තවත් පිරිමින් හට ඉඳුල් වන්නට සිදුවෙයි. ඇයට අන් කල හැක්කක් නොවෙයි. ඇයගේ ඉරනම ඔවුන් තීරණය කර අවසන්ය. සැමට කෙලි බඩුවක් වන ඇය මේ සියල්ල උපේක්ෂා සහගතව විඳිමින් ජීවිතයට මූන දිය යුතුය. (මේ මට මේ ගීතය තුල හැඟෙන සංශිප්තයයි.)

මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

රාග ද්වේශ මෝහ නැමති මරණ තුනම දෑතින් තුරුළු කරගත් ක්ලේශ රාගයෙන් බරිත මිනිසෙක්. ඇත්තෙන්ම ඔහු කා දෙසද මේ බලා හිඳින්නේ? ඇය එතෙක් තවත් එක් කන්‍යාවියන්. ඔහුගේ රාගය, ඇයට සමාජ සම්මුතිය, සභ්‍යත්ව නැමති කඩ තිර දෑසින් උනා තබා නිරුවත් දෑසින් සිදුවන විපත විඳ දරාගන්නට යැයි කරන ඇරයුමක් වැනිය. ඇයගේ සළු එකින් එක ලිහිල් වී බිම වැටෙද්දී, තිසර පට අතරින් පයෝදර හඬා වැටෙද්දී ඇගේ අභිමතය නොවුවද කෙලෙසා දැමෙන්නේ රන් හා වන් පවිත්‍ර බවයි. කෙසේ නමුත් සිදුවූ විපත විඳගෙන ඊට අනුගත වී ඇය ජීවිතය ගෙනයා යුතුය. ඇයට ඒ හැර කල හැකි අන් දෙයක්ද නොවෙයි. ( මෙහි “වයන්න වීනා“ යන්න තුල ද්වනිථාර්ථයක් මා හට හැඟෙයි. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කල බව අප අසා ඇත්තෙමු. මෙහිද වීනාව උපමා කොටගෙන‍ මෙතරම් විනාශයක් සිදු වූ ඇයට එය නොසලකා හරින මෙන් කරන යෝජනාවක් වැනිය.)

නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

ඔබ වරෙක නියඟලා මල දැක තිබෙනවාද? එහි වන්නේද දේදුනු වර්නයෙන් වන විචිත්රත්වයකි. ඇගේද එවන් විචිත්‍රවත් වූ ජීවිතය මේ වන විට වරින් වර පැමිනෙන ගිරා කෙවුලන් බඳු මිනිසුන් කෙරෙන් විනාශ වී යයි. නිකැලැල් පියුම් කැකුලක වන් වටිනාකම ඇයගෙන් වියැකී යයි. සුදෝ සුදු හංසයෙකුගේ වන් පවිත්‍රතාවය ඇය කෙරෙන් දිනෙන් දින කෙලෙසී යයි. නමුත් ඇයට දැන් ආපසු හැරීමක් නැත. ඇය ජීවත් විය යුතුය. ඒ සඳහා ඇය දැන් තුටු සිතින් රසා තලය නැවත කල එලි කරමින් අගේ ජීවන වීනාව නැවත වැයිය යුතුය. අවසාන වශයෙන් ඇයව ගනිකාවකට ලඝු කිරීමට මා සිත් දෙන්නේ නැත. නමුත් සමාජය තුල ඇය ලබන ගැරහුම එය නොවෙයිද?

ඉතින් වරෙක මා හට විසඳාගැනීමට ප්‍රෙහලිකාවක් බඳු වූ මේ අති සූක්ශම පද අමිනුමේ ගෞරවය හිමි වන්නේ ලූශන් බුලත්සිංහල මහතාටයි. මෙහි අති මියරු සංගීතය ප්‍රේමසිරි කේමදාස නම් අසහාය ගාන්ධර්වයාගෙනි. ගැඹුරු හඬ පෞර්ශවය අමරසිරි පීරිස් මහතාගෙනි.

(මෙය, චිත්‍රපටය නම් සීමාවෙන් පිටත සිට මා ගීතය රසවින්දනය සඳහා ගෝචර කරගත් ආකාරය පමණි.)

https://www.youtube.com/watch?v=AepoZHf9x58