Wednesday, August 23, 2017

මින්දද හී සර ‍වැදී සැලෙන හද

ප්‍රේමය හා රාගය, ඊට මා අරුත් සපයා දීම අපහසු සොඳුරු, සමගාමී චිත්ත ස්වරූපයන් දෙකක් යැයි කිව හොත් ඔබ එකඟ වනු ඇතැයි සිතමි. සැබැවින්ම නුරාව මද පමනින් මුසු වූ ප්‍රේමය තරම් සිංහල සාහිත්‍ය වෙත සොඳුරු, ප්‍රසන්න සංකල්පයන් උත්පන්න කල තවත් යමක් එක වර මසිතට නොනැඟෙයි. කෙසේ නමුත් කලකට පසු අරුත වෙත යමක් ලියන්නට මා සිතුවිලි අවධි කල මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කරන ලදුව ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයකි. ඒ අන් කවරක් වත් නොව "මින්දද හී සර" ගීය වෙයි.
වර්ථමානය කෙසේ වෙතත්, මෙය අපේ හෙල සුභාවිතය යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුය. එ තුල කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවය. සැබැවින්ම ඇතැම් තැන්හි නිර්මාපකයා විසින් ඔහුට ගෙන ආ යුතු අධික ශෘංගාරය පවා ව්‍යංගය තුල සඟවා සොභා දහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශණිය ලෙසිනි. ඇත්තෙන්ම සොභා දහම සමඟ බද්ධ වූ එවන් කලාවේ රසය මෙය යැයි අරුත් සැපයීමට මා අපොහොසත්ය. නමුත් මේ ගීතයේ පද වැල් අතරින් මා උකහා ගත් රසය මදකින් හෝ ඔබට සමීප කරන අටියෙන් මෙසේ සටහන් තබන්නම්. මින්දද හී සර ‍වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ  ...// ගම්බද තරුණ යෞවනයෙකු වෙතින් තරුණියක කෙරෙහි උත්පන්න වන ප්‍රේමණීය ආලවන්ත කමක් ගීතයේ මූලික ලෙසම සේයා කරයි. සැබැවින්ම එ තුල තව දුරටත් ඔහුගේ තරුණිය වෙත වන ප්‍රේමණීය බලාපොරොත්තුවක් මෙන්ම ප්‍රේමනීය ආරාධනයක්ද සිත්තම් කරන්නේ අතිශය සෞන්දර්යාත්මක බවින් යුතුවය. චන්දන මල් අතුරා ඇති යහනට( ඔහු මනෝ භාවයන් තුල ගොඬනඟා ගත් මංගල යහනාවට) "කන්ද කපා පායන් රන් පුන් සඳ". කන්ද කපා, නැති නම් කන්ද මුදුනෙන් එක් වරම පායා එන පුන්සඳේ ප්‍රභාවේ ආකර්ශනය පිලිබඳ නැවත කිව යුතු නොවේ. එලෙසින්ම කවියන් සඳ තරමින් යුවතිය උපමා කල වෙනත් වස්තුවක් නොමැති තරම්ය. ඉතින් මේ තරුණයාගේ ඇරයුම, නැතිනම් අභිප්‍රාය කන්ද කපා පෑයූ පූර්න සඳ විලසින් ඇයව මංගල සයන මත දැකීම නොවෙයිද? තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ  ...//
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා මා පෙර තැනක සඳහන් කල ලෙසින්ම මඩවල එස් රත්නායකයන් සොභාදහම සමඟ ගීතය අනුබද්ද කල අයුරු අතිශය සෞන්දර්යාත්මකය. "තුරඟෙකු පිට නැඟි නීල වලාකුළු, ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ." ඇත්තෙන්ම මේ තුල අපූර්ව ලෙස ගෙනෙන්නේ තුරඟෙකුගේ වේගයට සමව ඉක්මනින් ගුවන් ගැබෙන්, නෙත්මානයෙන් ඔබ්බට සැඟව යන නිල් අහස, නැති නම් සරල බසින්ම කියනවා නම් සන්ද‍්‍යාවේ උදා වීම පිලිබඳවයි. එලෙසින්ම උදා වන සන්ද්‍යාවේ තරුණයා කෙරෙන් පිබිද එන සොඳුරු සිතුවිලි වල අපූර්වත්ය ගීතය තුල මතු කර ලන්නේ ශ්‍රාවකයාගේ සිත වෙතද ප්‍රසන්න හැඟමන් මුදාලමිනි. මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා  ...//
නෙත් මිණි පහනින් පහන් කරණු මැන //
අනාගතේ මං පෙත පාදා ගීතයේ අවසාන භාගය තුලද තරුණයා විසින් ඇයට ගෙනෙන ඇරයුමේ නැති නම් ඔහුගේ බලාපොරොත්තුවේ තිර භාවය නැවත සපථ කරන්නා සේය. අනාගතය වෙනුවෙන් ඔහු ඇයගේ නෙතු වලින් ආලෝකය අයැද සිටී. එතුල ජීවන ගමනට ඇය සහකාරිය වීම ඔහුගේ අති මහත් වූ බලාපොරොත්තුවම වෙයි. එසේ නම් නැවත වරෙක හමු වන්නම්. ස්තූතියි....!! ගීතයට සවන් දෙන්න. https://www.youtube.com/watch?v=GYZjtqfRyGo

Wednesday, May 3, 2017

ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා



ඉතින් මෙය සමන්ත පෙරේරා මහතාගේ ප්‍රේමණිය සංගීත තත් අතර ප්‍රභාමත් වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ආකර්ශණීයතම පද වැලකි.  අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬ තුල ඊට සපයා දෙන ජීවය අතිශය හැඟුම්බර වේ. කෙසේ වෙතත් එක්තරා අභිනව විවාහකයෙකුගේ (යෝජිත විවාහයක) සංවේදී කථා හරයක් ඔස්සේ ගලා යන පද වැල තුල ගොනු වන්නේ තම විවාහක බිරිඳගේ හිතුවක්කාර හැසිරීමක් පිලිබඳවයැයි මා අදහස් කරමි. බොහෝ විට විවාහප්‍රාප්ත ඇය තම අතීත ප්‍රේමයක සුන් බුන් අතර හිඳිනවා වන්නට ඇත. 

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

විවාහය තුල යුවලක් එක් අයෙකු බවට පත් විය යුතුය. එකිනෙකාගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කල යුතු වේ. එමෙන්ම යම් සීමාවන් තුල රැඳී කටයුතු කිරීම, ප්‍රේමයේ බැඳීමක අනිවාර්ය නියතයක් වේ. ඔහු ප්‍රේම කරන තම ප්‍රිය බිරිඳ ඒ කියන්නා වූ නියතයන් අභිබවා ඔහේ පියා සලා යයි නම් ඔවුන් අතර ඝට්ටනයක් ඇති වීම ස්භාවිකය. කෙසේ නමුත් මේ විවාහක ප්‍රේමවන්තයා ඇයට යථාර්ථතය නැමති මහපොලව මත ඔහුගේ ප්‍රේමයේ ආලින්දයේ නවාතැන් ගන්නට යැයි ඇයට කරන ඇරයුමක සේයාවකි. (ආලින්දය යනු නිවසක ඇති සුන්දරම ස්ථානයයි, ගීය තුලද ප්‍රේම ආලින්දය නම් යෙදුම ඔහුගේ ප්‍රේමයේ සොඳුරු බව මනාවට මතු කරන වග මගේ අදහස වේ)

කෙසේ නම් මම නවත්වන්නද

මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ

පෙම්වතා දැඩිව අසරණ ව ඇත. ඇය මේ පියාසලන තෙත සිඳී ගිය ඔහු වෙත අකාරුනික වූ බොල් සිහින සුලඟ කෙතරම් පීඩාකාරී වන්නට ඇත්ද? හියුඩු පිපෙන්නට තරමින් හිත කීරි ගැස්වෙන, සෙනෙහසේ මල් රේණු සැලෙන්නට තරම් රුදු වූ ඇගේ මේ පැතුම් අහස යට කෙසේ නම් ඔහු නිර්ව්‍යාජ ප්‍රේමයක් තමන් සතු කරගන්නද. ඇත්තෙන්ම එය ඔහුට අමිහිරි කටුක සංවේදී අත්දැකීමක් වන්නට ඇත.

නෙළූ පලවැල මග දමන්නද

දෙපා උඩුකුරු
හිසින් බිම හිඳිනා

කුරුළු බිලිඳු
හෙලන කඳුළු

මහමෙරක් යට
තනිව මා උන්නා
විවාහය නම් ඔවුන් ආ මඟ සම්මතය තුල නැවත හැරවිය නොහැක.  එසේම විවාහ වූ ඔවුන්ගේ කැදැල්ලට දරු පැටියෙකුගේ ආලෝකය ලැබෙන්නටද ඉතා ආසන්නය. 
නමුත් ඇය වෙතින් උත්පන්න වන ව්‍යාකූල තත්වය නිසා වූ සංවේගය පද පෙල තුල නූපන් දරුවාගේ කඳුළු හරහා තවත් තීව්ර කර මතු කරයි. (දෙපා උඩු කුරු හිසින් බිම හිඳිනා = පුංචි දරු පැටියෙකුගේ හිස යටට පිහිටන කලල රූපී අවස්ථාව මින් මතු කරයි) 

එසේ නම් යලි වරෙක මුනගැසෙමු. ස්තූතියි...!!

Wednesday, February 15, 2017

හෙවනැලිද ඉකිබිඳී


ඇත්තෙන්ම මෙම ගීතය ඉතා මෑතකදී අහම්බෙන් මෙන් මා සවනත වැකුනු සොඳුරුතම ගීයකි. ඇසූ ප්‍රථම වර වුවද සුනිල් ආරියරත්නයන් අතින් නිමැවුනු එහි පද වැල හා නන්දාමාලිනී මහත්මියගේ භාවාත්මක සුගායනය මා සිතෙහි ඇතිකලේ ශෝඛි රසය මුසු ප්‍රකම්පනයක් යැයි කිවහොත් එය අතිශෝප්තියක් නොවෙයි.

එසේම මේ තුල මතු කෙරෙන අන්තර්ගතය තුල තමන් අතින් සිදුවූ වරදක් හේතුවෙන් මංගල දිනය දා අසරණ වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා දක්වයි,

හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ
ගහකොළ ද පණ අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමෙන්


ඝන අඳුර තුල සෙවනැලි නම් කොහි තිබිය හැකිද? නමුත් මේ තුල කියාපානු ඇත්තේ මා පෙර කී යුවතියගේ, අතීතය නම් අඳුර තුල සැඟව ගිය සෙවනැලි වන් ස්මරණයන්ගේ වර්ථමාන විලාපය නොවියහැකිද. එසේම එවන් අවස්ථාවක ස්භාවධර්මයේ ගහකොල පවා බිම වැතිර පණ අදිමින් මේ මතුකරලන්නේ ඇගේ සසල වූ සිතෙහි වන අති මහත් පිඩාවේ ස්වරූපය නොවෙයිද. මෙවන් මොහොතක ඇය සිය ස්වාමීයාගෙන් අභය ඉල්ලනවා හැර අන් කුමක් නම් කරන්නද "සෙවනැලි පවා ඉකි බිඳ හඩන, ගහ කොල පවා කම්පිතව සසල වන." ඇත්තෙන්ම, මංගල දිනය තුල එවන් ඛේදනීය ඉරණමක හිමිකාරියක වන යුවතියකගේ ආත්මීය වැලපීම විදහා පාන්නට මෙතරම් සංවේදී ආරෝපනයන් තවත් නම් විය හැකිද? සුනිල් ආරියරත්නයන්ගේ සුවිශේශීත්වයද එයම වේ.

ගිරි හිසින් උදා වූ මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළි රැවු වියැකෙයි
මුණින් තලාවේ සුධවල යහනත 
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන්
"ගිරි හිස සිප උදා වන මධු සඳක්, වන හිස සිසාරා ආ පිළි නදක්," නියත ලෙසම මේ ආරෝපනයන් තුල මනස තුල චිත්‍රනය කරන චිත්ත රූප අතිශය ප්‍රසන්නය. එසේම ප්‍රේමණීය වේ. නමුත් ඇගේ ජීවිතය තුලින් මේ කියන්නා වූ විචිත්‍රවත් බව වියැකී යමිනි. ස්වේත වර්ණිත මංගල යහන මත සොවින් තැවෙනා ඇයට ප්‍රේමයේ නාමයෙන් එක් වූ මැකිය නොහැකි අඳුරු සලකුනකි.

කුළුඳුලේ පිපී ආ මධු මල මැලැවෙයි
දොළ දිගේ ගලා ආ දිය වැල බොරවෙයි
පිදූ පාපයෙන් හද සැලමුතු පෙම
තැවෙන්නී ඈ . . . ආලයේ නාමෙන් 


ඇය සත්ත්‍ය ලෙසම තම අතගත් ස්වාමියාට ප්‍රේම කරනවා වන්නට ඇත. එය හදවතේ වූ ගැඹුරුම තැනක සිට වන්නටද ඇත. නමුදු ඇය කලෙක ලදුවා වූ කැලල හමුවේ ඒ ප්‍රේමයේ පුෂ්පයට තව දුරටත් විකසිත විය හැකිද, සුනිමල දිය ලෙසින් දොල පහරක් සේ මේ මොහොත දක්වා ආ මග මංගල යහන මත බොර වී හමාරය, ඇය වරෙක සැලමුතු පෙම තුල (ප්‍රථම පෙම) කලා වූ පාපයන් නිසා ස්වාමියා ඉදිරියේ මැරි මැරී උපදින්නට තරම් කටුක චිත්ත පීඩාවකට උරුමකම් කියයි.  ඇත්තෙන්ම අප මුල් බැසගත් සංස්කෘතිය තුල යුවතියකගෙන් එවන් වටිනාකම් ගිලිහුනිනම් ලබන්නට වෙන නින්දා, අවලාද කොතෙක්දැයි මා නැවත සිහි කල යුතු නැත.

ඉතින් එහෙනම් අවසරයි...!!

ගීතය වෙත...
https://www.youtube.com/watch?v=zQ48-ITh_o0