Tuesday, October 4, 2016

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්......

අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත් පැන් ඉසිමින් ආශිර්වාද එක්කරන්නේ රජරට (බත් දෙන රටට) අළුතින් එක් වන ඊලඟ පරම්පරාව වෙනුවෙන් නොවෙයිද? පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා.. පලා පෙති, හංස පියාපත්, මේ සියල්ල සශ්‍රිකත්වය හා අභිවෘදිය පිලිබඳ විශ්වාසයන් සමඟ බැඳි අතිශය උසස් කලා නිමැවුමක් වූ සඳකඩ පහනේ කැටයම්ය. ඉතින් මේ දරුවාගේ පාද පවා ස්පර්ශ ලබන්නේ එහෙවු රටක සංස්කෘතිය සමඟ බැඳි රජ රට අභිමානය නෙවෙයිද. එසේම රාත්‍රී අහසේ පායන බ්‍රහස්පති තාරුකාවේ වන මිනි කැටයකට නොදෙවෙනි කාන්තිය ලෙසින් දීප්තිමත් වන්නේ ස්වර්නමාලී චෙත්‍ය රාජයානන් වහන්සේගේ කොත් කැරැල්ලයි. ඉතින් මේ සියල්ල තුල උත්පන්න කරනුයේ දේශාභිමානය හා ආශිර්වාදාත්මක භාවයන්ය. කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා "මා සතු සියළු ධනය මෙයමැයි." එලෙසින් වදන් දැරූ උතුම් රජූන් උපන් දේශයක් තවත් වේ දැයි වරෙක මා හට සිතෙයි. කෙසේ වෙතත් කලා වැව නම් වූ අනුරපුරයේ මහා දායාදයේ දිය උත්පල (උත්පල = උතුම් ඵල. එනම් කලා වැවේ මහා දියවර) දෝත දරා සිටින්නේ අප්සරාවන් විසිනි. එය මේ රජ රට උපන් දරුවාගේ අනාගතය වෙත කරන්නා වූ අපූරු පිරිනැමීමක් ලෙසින් අරුත් ගැන්විය හැක. වැස්ස වලාහක දෙවියන් වුව ඉසිවර ලෙස මේ පුතු දෙස නෙත් යොමන්නේ රටේ මතු දවස රැඳෙන්නේ නිල් ගොයම පිස එන සුලඟ තුලම වන නිසා නොවේද? ගීතයේ අරුත මෙය වුවත්, "මඩ සොදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය" කියූ වටිනා කම අද කොතැනකද කියා අප අප විසින්ම නැඟිය යුතු පැනයකි. එය එසේ පැණයක් ලෙසම මා ඉතිරි කරන්නම්. ඉතින් ස්තූතියි....!! ගීතය වෙත.
https://www.youtube.com/watch?v=5QqGl8VEfuI