Sunday, April 24, 2016

කේතුමතී නුවර


කේතුමතී නුවර,

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, එතුමන්ගේ නම ඇසූ සැනින් මා සිත තුල ඇති වන හැඟීම වචනයට නැගීම අපහසුය. මා හට එතුමන්ගේ බොහෝ නිර්මාන වල වෙනත් නිර්මාණ කරුවන්ගේ නොදකින විශේශත්වයක් ඇත. එතුමන්ගේ ඇතැම් නිර්මාන වල අනෙක් නිර්මානකරුවන් නොදකින, කථිකා නොකරන ගැඹුරු සමාජ සංසිද්ධි උළුප්පා මතු කරන්නට පන්හිඳ හැසිරවී ඇති බව මගේ හැඟීමයි. (විටෙක එය පන්හිදකට වඩා අසිපතක් යැයි කීම වඩා යෝග්‍යය).
එලෙසින්ම මහාචාර්ය සුනිල් ආරියරත්න යන නම සමඟ නිතැනින්ම සිහි වන තවත් නාමයකි. ඒ විශාරද නන්දා මාලිනියන්ය. සුනිල් ආරියරත්නයන් අතින් ලියවුනු බොහෝ නිරමාණ ප්‍රමාණයකට ජීවය සපයන්නට නන්දා මාලිනී මහත්මිය සමත්ව ඇත. ඇත්තෙන්ම සුනිල් ආරියරත්න, නන්දා මාලිනී යන සුසංයෝගය හෙල සුභාවිත ගීය තුල නොමැකෙන සලකුනකි.
ඉතින් ටික දිනක විරාමයකින් පසුව අරුත වෙත මා අද මේ තෝරාගත් ගීතයේද පද රචනය හා ගායන මහාචාර්ය සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී සුසංයෝගය විසිනි. මියුරු සංගීතය සරත් දසනායකයන්ගෙනි. අන් නිර්මාන වලින් විශේෂයක් ගන්නා විනාඩි 7කට ආසන්න කාලයක් ගැයෙන මේ ගීතයේ මුලික හරය ගමන් කරන්නේ දේශපාලන කථිකාවක් ඔස්සේය. ඇතැම් තැන් වල ගීතයේ වචන හැසිරවීම වර්ථමාන දේශපාලන තත්වය සමඟ ගැටෙන්නේ ඉතාම තියුනු ලෙසිනි. ඉතින් ගීතයේ ඇති මේ හුරුවත් සමඟ පද පෙලෙන් පෙලට අරුත් ගන්වනවාට වඩා යම් කරුණු කිහිපයක් පිලිබඳ පැහැදිලි කිරීම ප්‍රමානවත් යැයි මට හැඟෙයි.
ප්‍රධාන වශයෙන් ගීතය තුල ගොඩනඟන වර්ණනාවකි. ඒ කේතුමතී නම් පුරවරයක් ගැනයි. බුදු දර්මය තුල මේ ගැන පැහැදිලි කිරීමක් ඇත. කේතුමතිය යනු අනාගත මෛත්‍රි බෝධිසත්වයන් පහල වන දේශයයි. එය ගෞතම බුදුරදුන් පහල වූ ජම්බුද්වීප භූමියම වෙයි. කෙසේ වෙතත් කේතුමතිය ගැන අතිමහත් වූ වර්නණාවන් රාශියක් බෞද සාහිත්‍ය තුලද සොයාගැනීමට හැක. එකල් වන විට කේතුමතිය නම් පුරවරය අතිශය පින්වන්තයන් පහල වන සමයකි. එමෙන්ම ඔවුන් අතිශය ධාර්මික අයවලුන් වෙයි. ප්‍රඥාවන්තයන් වෙයි. එම වැසියන් කෙතරම් පිංවන්තද කිව හොත් ඔවුගේ පරම ආයුශ අවුරුදු අසූ හාර දහසක් බව කියවෙයි. සිතූ පැතූ සම්පත් ලැබීමට තරම් ඔවුන් වාසනාවන්ත වෙයි. එලෙසම එහි ඉතාමත් ධාර්මිකව රාජ්‍ය පාලනය කරන ප්‍රඥා සම්පන්න පාලකයන්ය. සියළු මිනිසුන් අධික සැප සම්පත් යස ඉසුරු භුක්ති විඳින සෞභාග්‍යමත් සමයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය මිහිපිට දෙවු ලොවක්ම වෙයි.
ඉතින් බෞද ඉගැන්වීම් තුල එන මේ, අනාගත මෙත් බුදුන් පහල වන කේතුමතී දේශය ආදේශ කරගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වර්තමාන කටුක දේශපාලනය පිලිබඳ කරන්නා වූ අතිශය ඍජු සරදමකි. එතුමන් මෙහි අමුනන සෑම වචනයකම සත්‍ය අරුත ව්‍යංගයකි. නැතහොත් විරුද්ධාර්ථයකි. එය වත්මන හා සැසඳීමේදී ඇතැම් තැන් වල ගැබ් වන්නේ උපහාසයකි. පහර එල්ල කල යුතු තැන කොතැනද යන්න පිලිබඳව එතුමන්ගේ වූ අවබෝදය අතිශය ප්‍රශන්ශා සහගතය. අපව හැමදාම රවටන, අපද රැවටෙන දේශපාලනය නම් මඩගොහොර පිලිබඳව එතුමන් එක් කරන මේ අදහස් සමුදාය වර්තමානය හා සමඟ සැසඳෙන්නේ හරි අපූරු ලෙසිනි.
දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනො‍්
පුපුරුවති අහෝ රතිඤ්ඤා
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
දස රද දම් නිමිති පැවති
නර පති ඇමති වඩන රුති
සත වෙත පතන මෙත සදති
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
රැකෙයි අකුරට නීතිය
දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති වී ඇත
නැත අක්රමිකතා
වැඩෙයි සුහදතා
සුන්දරතා
සුවතා
අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
කියමින් නිබඳ ගී මියුරු
දකිමින් අවට රූ සොඳුරු
සතුටින් රඟති මේ නුවරු
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
නැත බදු බර, පවුල් බර, ජීවන බර
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි