Tuesday, August 16, 2016

සිහින සතක් දුටුවෙමි මම.



සිහින සතක් දුටුවෙමි මම.

සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි.

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම් ඇයට අදාල යමක අහිමි වීමක් හෝ නොලැබීමක් තිබිය යුතුමය.  එහිදී ඇය තමන් බලාපොරොත්තු වූ ප්‍රේමය නැමති වූ ජීවන කඩඉම අසමත් වී සිටියා නම්. ඇය ප්‍රේමය අභියස සිඟන්නියක නොවෙයිද? එසේ නම් ඇය සිඟන්නියකි.

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

ඇය මේ ගීතයේ එන තරුණයාගේ සමීප හිතවතියක් වන්නට ඇත. ඔහු සමීපයේ සිටින්නට ඇත. ඇය ලදුවා වූ ප්‍රේමයේ වේදනාව ඔහු හා බෙදාගන්නට ඇත. මෙය රචකයා විසින් තරුණයාගේ සිත වෙත කරන්නාවූ ආදරණීය ඇරයුමක්, ආයාචනයක් ලෙස ඉදිරිපත් කරන බව මගේ අදහසයි.

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

මේ තරුණයා හට තරුණිය හට උපකාර කල හැකි මගක් නොවෙයි. නමුත් ඇයගේ දුක්ඛ දෝමනස්සයන් තුල තරුණයාගේ සිතෙහි ඇය කෙරෙහි ඇල්මක් ගොඩනැඟුනා වන්නට ඇත. (අනුකම්පාව ආදරයකට පෙරලෙන සම්භාවිතාව කොතෙක්ද යන්න ජීවන අත්දැකීම් තුල සොයාගැන්මට අසීරු නැත.) ඒ තුල ඔහු සිය පිරිසිදු හදවත, නැතිනම් ප්‍රථම ප්‍රේමය නිත්‍ය ලෙසින්ම ඇය හට පිදුවා වන්නට ඇත.

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ.. 

මා ගීතය විඳින අයුරින් ගීතයේ රසවත්ම හා සංවේදීම කොටස මෙයයි. එදා ඇයට නිත්‍ය ලෙසම හා පූර්ණ වශයෙන්ම ඔහු පුද කල ප්‍රේමය ඇයද පිලිගෙන අවසන්ය. ඒ තුල ඇය ප්‍රේමය අභියස පොහොසත් නොවෙයිද? එ නමුත් ඇයට ඇගේ අතීත ප්‍රේමයේ සුන්බුන් සියල්ල හදවත තුලින් අතුගා දැමිය හැකි වීද? එය ගැටළුවකි. මෙහි එම තරුණයා තමන් ඇයට පුදකරන ප්‍රේමය මෙන් ඔහු කෙරෙහිද ඉතා ගැඹුරු වූ පූර්ණ වූ ප්‍රේමයක් බලාපොරොත්තු වීම කෙතරම් සංවේදීද. මගේ අදහසට අනුව මෙහිදී  ඒ බව 
ඇයට නොකියා කියනවාක් වැනිය. 

ඉතින් මේ අකුරු ගැලපුම ගීය මා විඳ ගත් අයුරු පමණි. රචකයා දැරූ මතය වඩා උසස් කොට සලකමි. 

ගීතය වෙත.
https://www.youtube.com/watch?v=9spSuxAAGio