Skip to main content

සිහින සතක් දුටුවෙමි මම.



සිහින සතක් දුටුවෙමි මම.

සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි.

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම් ඇයට අදාල යමක අහිමි වීමක් හෝ නොලැබීමක් තිබිය යුතුමය.  එහිදී ඇය තමන් බලාපොරොත්තු වූ ප්‍රේමය නැමති වූ ජීවන කඩඉම අසමත් වී සිටියා නම්. ඇය ප්‍රේමය අභියස සිඟන්නියක නොවෙයිද? එසේ නම් ඇය සිඟන්නියකි.

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

ඇය මේ ගීතයේ එන තරුණයාගේ සමීප හිතවතියක් වන්නට ඇත. ඔහු සමීපයේ සිටින්නට ඇත. ඇය ලදුවා වූ ප්‍රේමයේ වේදනාව ඔහු හා බෙදාගන්නට ඇත. මෙය රචකයා විසින් තරුණයාගේ සිත වෙත කරන්නාවූ ආදරණීය ඇරයුමක්, ආයාචනයක් ලෙස ඉදිරිපත් කරන බව මගේ අදහසයි.

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

මේ තරුණයා හට තරුණිය හට උපකාර කල හැකි මගක් නොවෙයි. නමුත් ඇයගේ දුක්ඛ දෝමනස්සයන් තුල තරුණයාගේ සිතෙහි ඇය කෙරෙහි ඇල්මක් ගොඩනැඟුනා වන්නට ඇත. (අනුකම්පාව ආදරයකට පෙරලෙන සම්භාවිතාව කොතෙක්ද යන්න ජීවන අත්දැකීම් තුල සොයාගැන්මට අසීරු නැත.) ඒ තුල ඔහු සිය පිරිසිදු හදවත, නැතිනම් ප්‍රථම ප්‍රේමය නිත්‍ය ලෙසින්ම ඇය හට පිදුවා වන්නට ඇත.

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ.. 

මා ගීතය විඳින අයුරින් ගීතයේ රසවත්ම හා සංවේදීම කොටස මෙයයි. එදා ඇයට නිත්‍ය ලෙසම හා පූර්ණ වශයෙන්ම ඔහු පුද කල ප්‍රේමය ඇයද පිලිගෙන අවසන්ය. ඒ තුල ඇය ප්‍රේමය අභියස පොහොසත් නොවෙයිද? එ නමුත් ඇයට ඇගේ අතීත ප්‍රේමයේ සුන්බුන් සියල්ල හදවත තුලින් අතුගා දැමිය හැකි වීද? එය ගැටළුවකි. මෙහි එම තරුණයා තමන් ඇයට පුදකරන ප්‍රේමය මෙන් ඔහු කෙරෙහිද ඉතා ගැඹුරු වූ පූර්ණ වූ ප්‍රේමයක් බලාපොරොත්තු වීම කෙතරම් සංවේදීද. මගේ අදහසට අනුව මෙහිදී  ඒ බව 
ඇයට නොකියා කියනවාක් වැනිය. 

ඉතින් මේ අකුරු ගැලපුම ගීය මා විඳ ගත් අයුරු පමණි. රචකයා දැරූ මතය වඩා උසස් කොට සලකමි. 

ගීතය වෙත.
https://www.youtube.com/watch?v=9spSuxAAGio

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

මාරම්බරී

විසල් විශ්වයේ සියළු සත්වයෝ හඳුනාගත් එකම භාශාවක් වේද, එනම් සංගීතයම වේ. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කල උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාශ තුලද සුපෝශනය වූ හෙල සුභාවිත ගීය තරම් අප සිත් නිවා පහන් කල හැකි වෙන යම් හෝ මහෝෂධයක් තවත් නම් විය හැකිද? මාරම්බරී..... විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගයන ඔහුගේ අතිශය සුවිශේශීතම ගීය මාරම්බරියම වේ. එය එතුමන් පැවැත්වූ ගී ප්‍රසංගයද මාරම්බරී වීම තුල ප්‍රත්‍යක්ශ වේ. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචනා වන මෙම අතිශය ශෘංගාරාත්මක ගීය සඳහා සංගීත තත් සුසර වන්නේ රෝහණ වීරසිංහයන්ගේ අතිනි. එහිදී එතුමන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන රාත්‍රී දෙවන ප්‍රහාරය තුල ගැයෙන අධික ශෘංගාරයක් කැටි වූ තිලක් කාමෝද් රාගය පසුබිම් කර ගැනීමද තවත් සුවිශේශී කරුණකි. එලෙසම මෙම ගීය නිර්මාණ වන්නේද උත්තර භාරතීය ගසල් ගීයේ ආභාෂය ලබමිනි. මේ සියල් කරුණු කැටිව උපදින මාරම්බරිය ශෘංගාර රසය තීව්ර කරන්නේ කිසිඳු ආයාසයකින් තොරවමය. රම්බා දේවිය, දිව්‍යාංගනාවන් අතර වඩාත්ම රුවැති දිව්‍ය අංගනාව වෙයි. ඉතින් යම් පුරුෂයෙකු ලඳක වෙත මාරම්බරී (මා+ රන්බරී) මගේ රන්බරිය කියයි නම්, එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් නම...