Skip to main content

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම....



කුල වාද, ජාති වාද, ආගම් වාද, වර්ග වාද,  ජීවත් වන කෙටි කාලය තුල අප විසින් අප වටාම ඇති කරගත්තා වූ බැමි පහුරු, සීමාවන් නම් කොතෙක්ද? බොහොමයක් මේ සීමාවන් බිඳ හෙලිය නොහැකි තරමින් ශක්තිමත්ය. යම් හෙයකින් එය බිඳිය හැකි නම්, ඒ ප්‍රේමය නම් වූ අතිශය ප්‍රභල ශක්තිමත් මානව හැඟුම තුලම පමණි. නමුත් ප්‍රේමය කොතෙක් ප්‍රභල වුවත් මේ බැමි තරණය කල නොහැකි අවස්ථා, එසේම තරණය කල නොයුතු අවස්ථාද නැතුවා නොවෙයි.

ඉතින් මේ පෙර වදන සපයා ගත් ගීයද එවන් වූ අවස්ථාවකි. නිලාර් එන් කාසිම් මහතා විසින් රචනා කරන ලදුව සමන්ත පෙරේරා මහතාගේ සංගීත මුසුවෙන් මාලනී බුලත්සිංහල මහත්මිය සහ අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ යුග ගායනයෙන් රසවත් වන අපූර්වතම ගීතයකි.

ගීතයේ හැඳින්වීමට පෙර අතුව යම් උපකල්පනයන් මතින් මා කථාව ගොඩ නඟමි. 
ඇය දමිල තරුණියකි. තරුණයා සිංහල තරුණයෙකි. ඔවුන් එක්තරා සමයක ජීවන ගමන අතර තුර එකිනෙකා හමුවෙයි. ඒ හමුවීම නිරතුරුවම ප්‍රිය උපදවන්නක් වෙයි. ඔවුන්ගේ මිත්‍රත්වය දැඩි බැඳීමකට පෙරලෙන්නේ කාලයත් සමඟය. එසේ ජනිත වූ ප්‍රේමයේ නාමයෙන් ඔවුන් එකිනෙකාට අසීමිතව ආදරය කරයි. නමුත් මේ සඳහා සිය නිවෙස් වලින් කිසිවිටෙකවත් ආශිර්වාද නම් හිමි වන්නේ නැත. කෙසේ වෙතත් යුවතිය ඇගේ මවට හා පියාට ද්‍රෝහි වීමට අභිමතයක්ද නැත. එය අතිශය සාදාරණය. තරුණයා හටද කල හැක්කක් නෙවෙයි. ජාතිවාදයේ සීමා පහුරු බිඳ දැමීමට තරම් ඔවුන් වාසනාවන්තයන් නෙවෙයි. කෙසේ වෙතත් ජීවිතයේ ඉතිරි කාලය තනිව ගතකිරීමට ඔවුන් දෙදෙනාම ඉටා ගනී. එය එසේම සිදු වෙයි. ( මා යම් විටෙක ඇසූ කථාවකට අනුව කාසිම් මහතා ගීතයට වස්තු බීජ කර ගන්නේ මෙවන් වූ සත්‍ය කථාවකි.)

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම.....

නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..

 කලාව තුල නිර්මාණකරුවන් ප්‍රේමය නම් මානව හැඟුම වැඩි වරක් ‍ස්පර්ශ කරන්නා සේම, ඔවුන් බොහෝ තැන් වලදී "සඳ" රූපකයක් ලෙසින් හෝ එක් කර යොදා ගැනීමට උත්සුක වෙයි. සඳ නිරතුරුව සෞම්‍ය රසයක් ඇති කරයි. ප්‍රියජනක ප්‍රභාමත් හැඟුමක් එක් කරයි. ඉතින් ගීතයේද එන ලෙසින් පුරා සඳ කෙරෙන් බට සෞම්‍ය සඳ කිරණ වන් පෙම්වතියගේ ප්‍රසන්න සිනහව දකින අවස්ථාව පිලිබඳ තරුණයාගේ සිතෙහි ඇති වන ආදරණීය හැඟුම කෙතරම් සුවඳවත් ඇතිද? ප්‍රසන්න ඇතිද? එය මේ ප්‍රේමයේ දිග පලල වටහා ගැනීමට කදිම ආදේශකයකි.

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...


නමුත් මේ තරුණියගේ සඳ කිරණ වන් සිනහවේ කාන්තිය වැසී යන්නේ කුමකින්ද. ඒ දෑ කුල භේදයෙනි. ඇය වෙනත් ජාතියකට අයත් වූ නිසා මේ ප්‍රේමයේ සතුට වෙනුවට ඔවුන්ට සැමදා කථා බස් කරන්නට ඉතිරි වනුයේ දුක්බර සිදුවීම් පිලිබඳව පමණි.


නෑබුල් පැතුම් අහසට නැග රහසේම...
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..

ඔවුන්ගේ ප්‍රේමයේ නිර්ව්‍යාජ ප්‍රාර්ථනාවන් දැන් බොහෝ ලෙස මොරා වැඩී ඇත. එය කොයි තරම්ද කියනවා නම් පුර පසලොස්වක සඳ අභියසින් දිලිසෙන්නේ ඔවු‍න්ගේ ප්‍රේමයේ බලාපොරොත්තු බව රූපක අලංකාර අනුසාරයෙන් රචකයා තරුණයාගේ අදහස් ඉදිරිපත් කරනවා වැනිය.

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...
දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..

මේ ගීතයේ තවත් අපූරු කොටසකි. දියවක, චන්ද්‍ර මාස ක්‍රමය අනුව දියවක යනු අමාවක දිනට සමීපතම දිනයයි. එනම් ඉතාමත් කුඩා කොටසක් ලෙසින් සඳ දිස් වන දිනයයි. ඒ තුල තරුණිය ඉදිරිපත් කරනුයේ ඉටු නොවන මේ ප්‍රර්ථනාවන් පිලිබඳවයි. එලෙසම ඔවුන්ගේ ප්‍රර්ථනාවන්ගේ කාන්තිය දිය වී ගොසින් රැඳෙන්නෙ තරු ඇස අසලය. එහිදී තරු ඇස් යන්න තුල ඔවුන්ගේ ජාතිය, ආගම, සිය පවුල, ඔවුන්ගේ සාරධර්ම, සිරිත් විරිත්, කුල මල ආදිය නිරූපනය වන බව මගේ අදහසයි. පසලොස්වක සඳෙන් වන් වූ ඔවුන්ගේ ප්‍රර්ථනාවන්ගේ ආලෝකය පරයා දියවක දින නැඟි  අඳුර තුල වඩාත් කාන්තිමත් වන තරු වල ආලෝකය මෙහි අපූරු රසකාරක යෙදුමක් ලෙසින් යොදාගෙන ඇත.

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..

සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...

ඔහුගේ සිතෙහි තදින්ම බැඳි ප්‍රේමය දියකර හැරීමට තරම් සමාජයේ ගැරහුම් ප්‍රභල නැත. ඇය කෙරෙහි බැඳි ප්‍රේමය අතිශය ගැඹුරුය. ඒ පිළිබඳව ඔහු ගීතය තුල නැවත සපථ කරනවා වැනිය.

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..
මට අත වනාපන් නළියන නළ සේම..



ඇයටද මේ ප්‍රේමයෙන් මිදිය නොහැක. නමුත් ඇයට මාපියන් අතැර දැමීමටද නොහැකිය. අන් අය කෙරෙන් මවු පියන් හට එල්ල වෙන ගැරහුම්ද ඉසිලිය නොහැක. ඉතින් ඔවුන්ට ජීවන කඩඉමක් වන මේ අවස්ථාව තුල ප්‍රේමය මදකට නතර කර තබන්නට සිදුවෙයි.  නමුත් බලාපොරොත්තුවෙන් මිදී යාමට ඇය උත්සහ නොකරන සෙයකි. ඇය ඔහුව නියත ලෙසම බලාපොරොත්තු වෙයි. 


ගීතය වෙත.
https://www.youtube.com/watch?v=RI5nkjpe0gk

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...