Skip to main content

සිහින සතක් දුටුවෙමි මම.



සිහින සතක් දුටුවෙමි මම.

සිහින, සිහින යන්න තුලට පුත්ගලයෙකු අත්විඳින හැඟීම්, අභිප්‍රායන්, සිතුවිල්ලේ ස්පර්ශයන්, යටි සිතෙහි ඇති වන මනෝ භාවයන් ආදිය ගොනු කල හැක. නමුත් එයට නිවැරදිම නිර්වචනයක් සැපයීම අසීරුය. කෙසේ වෙතත් ටික කලක නිහැඬියාවකින් පසු මා අරුත වෙත එක් කරන්නට සැරසෙන, මේ  පූර්විකාව සපයා ගන්නා ගීතයද අපූර්වතම රසවින්දනයක් ඇති (මා රස වින්දනයට ගෝචර කරගත් අයුරින්) , ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රතනායකයන්ගේ සංගීතය හා ගායනය මුසු වුනා වූ තවත් සුන්දරතම ගීතයකි.

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

මෙහි එක් සිහිනයක් නොව සිහින සතක් ගැන කියවෙයි. ඒ තුල ඉදිරිපත් වන්නේ මේ තරුණයාගේ සිතුවිල්ල තුල නැඟි බලාපොරොත්තුවක ප්‍රභල බව යන්න මාගේ අදහසයි. එය ඔහුගේ අනාගතය, ජීවිතය, ප්‍රේමය හා සමගාමී එකක් යැයි සිතීමටද කරුනු ඕනෑ තරම්ය. ඉතින් මේ එක් සිහිනක් තුල ඔහුගේ බලාපොරොත්තුවේ දිශාව පෙන්වීමට රචකයා උත්සහ කරන සෙයකි. එහි විශේශත්වය වන්නේ ඒ තුල ඔහු ඇයව සිඟන්නියක ලෙසින් දැකීමයි. "සිඟන්නිය" මේ තුලට මා උපකල්පනයක් ගෙනෙමි. සිඟන්නියක් වන්නට නම් ඇයට අදාල යමක අහිමි වීමක් හෝ නොලැබීමක් තිබිය යුතුමය.  එහිදී ඇය තමන් බලාපොරොත්තු වූ ප්‍රේමය නැමති වූ ජීවන කඩඉම අසමත් වී සිටියා නම්. ඇය ප්‍රේමය අභියස සිඟන්නියක නොවෙයිද? එසේ නම් ඇය සිඟන්නියකි.

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

ඇය මේ ගීතයේ එන තරුණයාගේ සමීප හිතවතියක් වන්නට ඇත. ඔහු සමීපයේ සිටින්නට ඇත. ඇය ලදුවා වූ ප්‍රේමයේ වේදනාව ඔහු හා බෙදාගන්නට ඇත. මෙය රචකයා විසින් තරුණයාගේ සිත වෙත කරන්නාවූ ආදරණීය ඇරයුමක්, ආයාචනයක් ලෙස ඉදිරිපත් කරන බව මගේ අදහසයි.

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

මේ තරුණයා හට තරුණිය හට උපකාර කල හැකි මගක් නොවෙයි. නමුත් ඇයගේ දුක්ඛ දෝමනස්සයන් තුල තරුණයාගේ සිතෙහි ඇය කෙරෙහි ඇල්මක් ගොඩනැඟුනා වන්නට ඇත. (අනුකම්පාව ආදරයකට පෙරලෙන සම්භාවිතාව කොතෙක්ද යන්න ජීවන අත්දැකීම් තුල සොයාගැන්මට අසීරු නැත.) ඒ තුල ඔහු සිය පිරිසිදු හදවත, නැතිනම් ප්‍රථම ප්‍රේමය නිත්‍ය ලෙසින්ම ඇය හට පිදුවා වන්නට ඇත.

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ.. 

මා ගීතය විඳින අයුරින් ගීතයේ රසවත්ම හා සංවේදීම කොටස මෙයයි. එදා ඇයට නිත්‍ය ලෙසම හා පූර්ණ වශයෙන්ම ඔහු පුද කල ප්‍රේමය ඇයද පිලිගෙන අවසන්ය. ඒ තුල ඇය ප්‍රේමය අභියස පොහොසත් නොවෙයිද? එ නමුත් ඇයට ඇගේ අතීත ප්‍රේමයේ සුන්බුන් සියල්ල හදවත තුලින් අතුගා දැමිය හැකි වීද? එය ගැටළුවකි. මෙහි එම තරුණයා තමන් ඇයට පුදකරන ප්‍රේමය මෙන් ඔහු කෙරෙහිද ඉතා ගැඹුරු වූ පූර්ණ වූ ප්‍රේමයක් බලාපොරොත්තු වීම කෙතරම් සංවේදීද. මගේ අදහසට අනුව මෙහිදී  ඒ බව 
ඇයට නොකියා කියනවාක් වැනිය. 

ඉතින් මේ අකුරු ගැලපුම ගීය මා විඳ ගත් අයුරු පමණි. රචකයා දැරූ මතය වඩා උසස් කොට සලකමි. 

ගීතය වෙත.
https://www.youtube.com/watch?v=9spSuxAAGio

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...