Skip to main content

සබඳ අපි කඳු නොවෙමු,

සුපුරුදු රටාවෙන් මිදී ගීතයක අරුත විමසීම වෙනුවටි ගීතයක් තුලින් පැන නැඟි අතුරු කථාවක් වියමන් කරන්නට අද මම උත්සහ කරමි.

එදින වේලාව සවස 4.30 පමන වන්නට ඇති බව මගේ හැඟීමයි. එවකට මම උ.පෙ හදාරා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පරිගනක ඩිප්ලෝමාවක් සඳහා යනෙන කාලයක් විය. එදින පතිත වූ මද මංදාරම් අඳුර හේතුවෙන් මම බසය වෙත නැගගත්තේ එය පිටත් වීමට බොහෝ වේලාවකට පෙර අතුවයි. ක්‍රමයෙන් බස් රථය එහි ආසන ප්‍රමාණයට වඩා මදක් වැඩි වන්නට මිනිසුන්ගෙන් පිරී යන්නට විය. ඒ අතර විටින් විටරථය තුලට ගොඩ වූ යාචකයන් හා සඟරා පුවත් පත් විකුනන්නන් මෙන්ම කඩල රටකජු ආදිය විකුනන්නන්ද විය. (මෙය මහරගම නුගේගොඩ ආදී තැන් වල බොහෝ සෙයින් සාමාන්‍ය දෙයක් බව යන එන යන දන්නවා ඇති.) කෙසේ වෙතත් එසේ රථයට ගොඩ වුනු වෙලෙන්දෙකුගෙන් මිලට ගත් රටකජු සපමින් මා බසය ගමන් අරඹන තුරු දුරකථනය අතට ගෙන අන්තර්ජාලයේ (එවකට GPRS) වෙත පිවිස සැරිසරන්නට වුනෙමි.

රථය ගමන් ඇරඹීමට ටික වේලාවකට ප්‍රථම ඊට ගොඩ වුයේ ප්‍රසන්න පෙණුමකින් යුතු හොඳින් හැඳ පැලඳගත් කරෙහි සයිඩ් බෑගයක් දමාගෙන අතෙහි යම් ලැමිනේට් කල ලියවිල්ලක් රැගත් වයස අවු 28ක 32ක පෙනුමැති තරුණයෙකි. රියදුරු අසුන අභියසට සේන්දු වූ හෙතෙම රථයේ සැවොම අමතා යමක් පවසන්නට විය.

“මුලින්ම ආයුබොවන්, සුභ සන්ද්‍යාවක් කියා පතනවා ඔබ සියළු දෙනාට. ඔබට මගෙන් යම් කරදරයක් වෙනවා නම් ප්‍රථමයෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම
ඔබ යන එන ගමන බිමන සාර්ථක වේවා යැයි පතලා මගේ අම්මගෙ බෙහත් බෙහෙත් වියදම පියවා ගන්න මට උදවුවක් ලබා දෙන මෙන් ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.“
ඔහු ඉන් එහා කිසිම දෙයක් පැවසුවේ නැත. සැපයූයේ එවන් මූලික දත්තයව් කිහිපයක් පමණි. කෙසේ වෙතත් ඔහු ඊලඟ ක්ශනය තුල ගීතයක් ගැයීම අරඹන්නට විය.

ප්‍රථමයෙන් ඔහු වික්ටර් රත්නායකයන්ගේ “ආදරයේ උල්පත වූ අම්මා“ ගීය ගයන්නට විය. දෙවනුව ටී. එම් ජයරත්න මහතාගේ “සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා“ යන මවු ගුන ගීය ගයන්නට විය.

ඔහුගේ හඬ බෙහෙවින් ප්‍රසන්න එකක් විය. ගායනය අතිශය සාර්ථක එකක් යැයි මට හැඟින. නමුත් ඔහුගේ බාහිර පෙනුම තුල ඔහුට තම මව පෝශනය කිරීමට වත්කමක් නැති අයෙකුයැයි මා හට ගම්‍ය වූයේ නැත. එලෙසින්ම අතපය හතර හොඳන් ඇති, රැකියාවක් කිරීමට ශක්තිය ඇති ඔහු කෙරෙහි මගෙන් මතු වූයේ ප්‍රසන්න හැඟීමක් නොවන බව කිව යුතුමය. මට මෙන්ම බසයේ සිටි අනෙක් අයටද වූයේ එවැනිම හැඟීමක් වැනිය.

කෙසේ වෙතත් ඔහු ඉන් අනතුරුව ඔහු අතෙහි වූ ලැමිනේට් කරන ලද ලියවිල්ල පාමින් ඒ මතට ආධාර මුදල් එකතු කරන්නට විය. (එය එතරම් තැලි පොඩි වූ පැරණි ලියවිල්ලක් නොවන බව බැළු බැල්මට පෙනෙන්නට තිබුනි) නමුත් ඔහුට ‍යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට පෙර කී මගේ සිතුවිලි මටම ඉඩ දුන්නේ නැත. එමෙන්ම රථය තුල සියල්ලන්ගෙන්ම ඔහුට හොඳ ප්‍රථිචාරයක් නොලැබුණි. අනතුරුව නැවත බස් රථය ඉදිරිපසට පැමිණි ඔහු නැවත එහි සිටි අයව අමතන්නට විය.

“බොහොමත්ම ස්තූතියි මට උදවු කල නොකල සැම දෙනාටම. මට උදවු කලේ බොහොම ටික දෙනෙක් වුනාට මගේ හිතේ ඔබ කිසිවෙක් සමඟ අමනාපයක් නෑ. මේ ඉන්නෙ මගේ අම්මා.(ඔහු තම බෑගය තුල වු ජායා රූපයක් පෙන්වන්ට විය.) එයාට ඉන්නෙ මං විතරයි. එයාට ලේ පිලිකාවක් කියලා වෛද්‍යවරු කියලා තියෙන්නෙ. ඒ ඒක සහතික කරපු වෛද්‍ය සහතික. (ඔහු තම අතෙහි වූ ලියවිලි පෙන්වන්නට විය.) මාසෙකට එයාගෙ බෙහෙත් වලට ලොකු මුදලක් වියදම් කරන්න වෙලා තියනවා. මම කැලනිය විශ්ව විද්‍යාලෙ සෛෟදර්ය පීඨයෙ උපාධි දාරියෙක්. දැනට පෞගලික ආයතනයක පුංචි රැකියාවක් කරනවා. මගේ පඩිය ප්‍රමාණවත් නෑ අම්මගෙ බේත් වියදමට වත්. ඒ නිසයි මම මේ වගේ බස් වලට නැගලා සිංදු කියන්න හිතුවෙ. ඒත් ඇත්තටම මේ මම උත්සහ කරපු දෙවනි වතාව. කමක් නෑ මම ඔබ වෙනුවෙන් තවත් ගීතයක් ගයන්නම් මිත්‍රවරුනි.

බස් රථය තුල සියළු දෙනා මීයකට පිම්බාක් මෙන් එක් ක්ශනයකින් නිහඬ කරන්නට ඔහුගේ වදන් සමත් විය. ඒ වදන් තුල වූයේ පුදුමාකාර හැඟීම් බර බවකි. ඔහු රථය අමතන වරෙක ඔහුගේ නෙතු අද්දර කඳුලක් ඇති දැයි මට සිතුනි. කෙසේ වෙතත් ඔහුගේ ස්වරය අතිශය අව්‍යාජය. ඔහු නැවත ඔහුගේ තෙවන ගීතය ගයන්නට විය.

“සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන“

ඔහුගේ හඬ අතිශය හැඟීමෙන් යුතු විය. එලෙසින්ම විශිෂ්ඨ ලෙස ඔහු එය ගායනා කරන්නට විය. වරෙක ඔහුගේ මෙම ගීතයේ පද වැල් හදවතට පිහියකින් අනිනවාක් මෙන් විය. ගීතය සමඟ බස් රථය තුල වූයේ දැඩි නිහැඬියාවකි. ඒ නිහැඬියාව බිඳ දැම්වේ මේ තරුණයාගේ සංවේදී හඬම පමණකි.
“ස්තූතියි“ ගීතය අවසානයේ තරුණයා පැවසුවේ එපමනකි. ඔහු වහාම බස් රථයෙන් බැස ගැනීමට යුහුසුළු විය. බස් රථයේ සිටි සියළු දෙනාගේ මුහුණු වල දිස් වූයේ දැඩි කම්පණයකි. මොහොතක් ගත වන තුරු මට කල යුතු යමක් සිතා ගැනීමට නොහැකි විය. එසේම තව දුරටත් අසුනේ රැඳී බසය තුල සිටීමට මගේ හදවත මට ඉඩ සැලසුවේ නැත. මා වහාම බසයෙන් බැසගෙන ඔහුව සොයන්නට වුනෙමි. නමුුත් ඒ මා ඔහු දුටු අවසාන අවස්ථාවම විය. ඉන් මතුවට කිසි දිනෙක ඔහුව මට මුනගැසුනේ නැත.

කෙසේ වෙතත් මෙම ගීතය තුලින් එදා ඔහු මා ඇතුළු බොහෝ දෙනෙකුගේ හදවතටම කථා කරන්නට සමත් විය. අදට වුවද මෙම ගීතය ඇසෙන විට මගේ මනසේ මැවෙන්නේ මේ සිදුවීමයි.

ගායනය ගුණදාස කපුගේ
පද රචනය දර්ශන මේදිස්
සංගීතය ගුණදාස කපුගේ

ගීතය වෙත. https://www.youtube.com/watch?v=g8LYUf24zUo

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...