Skip to main content

සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ


සිංහල සුභාවිත ගීය කෙරෙහි බෞද දර්ශනයෙනේ ලද බලපෑම සුළුපටු නොවෙයි. ඒ තුලින් පෝශනය ලද සිංහල සාහිත්‍ය වුවද කෙතරම් රස සාර හා බර සාර දැයි යන්න නැවත කිව යුතු නොවේ. ඉතින් අද අරුත වෙත මා මේ තෝරන ගීයද එවැන්නකි.
“සඳ කිඳුරා මිය ගියා, ගමට එන්න නංගියේ.“
ගීතයට පෙර වදනක් ලෙසින් මෙම ගීතයට මෙන්ම තවත් බොහෝමයක් රසවත් ගීත රාශියකට සම්බන්ද කර ගත් සඳ කිඳුරු ජාතකය පිලිබඳ කෙටි ආවර්ජනයක් කිරීම සුදුසු යැයි මට හැඟෙයි.
එකල බරනැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයකි. දිනක් රජු හා පිරිවර හිමාල වනයට පිවිසෙන්නේ විනෝදය සඳහා දඩ කෙලියේ යෙදීමටයි. ඉක්බිති රජු හා පිරිස මද දුරක් වනයට පිවිසෙද්දී දකින්නේ ආශ්වාද ජනක, ප්‍රිය උපදවන දසුනකි. ඒ බොහොමත්ම පෙමින් බැඳී සිටින චන්න කින්නර යුවලකි. මේ සඳ කිඳුරු යුවලගේ රූ ස්භාවය අතිශය පියකරු එකක් වෙයි. (මෙහි සඳ කිදුරියගේ රූ ශ්‍රියාව පිලිබඳ බොහොම මිහිරි වර්ණනාවන් බෞද සාහිත්‍ය තුල සොයා ගත හැක) සඳ කිඳුරිය දුටු පමණින් රජු හට ඇය කෙරෙහි සිතක් පහල වෙයි. රජු විසින් එවිට කරන්නේ විස පෙවූ හීයක් ගෙන සඳ කිදුරා වෙත එල්ල කිරීමයි.
එහි විස නිසා සිහිසුන් වන සඳ කිදුරා බදාගෙන කිඳුරිය හඬන්නට වෙයි. එවිට රජු පැමින ඇයට සියළු සැප සම්පත් වරදාන ප්‍රධානය කරන බව පවසා ඇයට තම අග මෙහෙසිය වන ලෙසින් ආරාධනා ගෙනෙයි. නමුත් කින්නරාවිය හැඬූ කඳුලින් යුතුව එය ප්‍රතික්ශේප කරයි. “මා ද මරා දමා මිස ඔබට මා හිමි කර ගත නොහැකී.“ යැයි ඇය රජුට පවසයි. පසුව සිදු වූ සියල්ලටම කම්පනයට පත් රජු එතනින් නික්ම යයි.
එකෙනෙහි කින්නරාවිය විසින් තමන් සඳ කිඳුරා වෙත පෑ පතිවත සැබෑවක් නම් ඔහු සුව වේවා යැයි සත්‍යක්‍රියා කරන්නට යෙදෙයි. මෙය දකින සක් දෙවිඳුන් බමුනු වෙසක් මවාගෙන විත් සඳ කිඳුරා සුවපත් කරන අතර ඉන් පසුව කිඳුරු යුවල සඳ ගිරි පවුව නම් ප්‍රදේ්ශය වෙත පලා ගොස් ඉතාමත් සතුටින් දිවි ගෙවූ බව පොත පතෙහි සඳහන්ය.
ඉතින් මේ ජාතක කථාව කලා නිර්මාණයන්ට ආදේශ කරගත් අවස්ථාවන් බොහෝය. සිංහල නාඩගම් සම්පුදාය තුලද සඳ කිඳුරු නාඩගම නම් ඉන් එකක් වෙයි. ග්‍රාමියව අදට වුවද මෙම නාඩගම රඟ දැක්වෙන අවස්ථා නැතුවා නොවෙයි. කෙසේ වෙතත් ඒ හා සමගාමීව මා මේ ගෙනෙන ගීතයේද හරය ගලා යන අතිශය සංවේදී වර්ථමාන කථා පුවතක් හරහායි. එය සැකෙවින් මෙසේය.
සඳ කිඳුරු නාඩගම නම් නාට්‍ය අංගයේ ප්‍රධාන චරිත දෙක, එනම් සඳ කිඳුරා හා කිඳුරිය ගේ චරිත වලට පන පොවන යුවලකගේ සැබෑ ජීවිතය ඔස්සේ මේ කථාව ගලා යයි. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතය තුලද පෙම්වතුන් වෙයි. දිනක් එක්තරා ග්‍රාමයක ඔවුන් සඳ කිඳුරු නාඩගම රඟ දක්වන්නට වෙයි. මෙහිදී කිඳුරිය ලෙසින් රඟන තරුණියගේ දක්ශතාවය හා රූප ස්භාවය නෙත ගැටෙන්නේ එහි පැමිනි කලා අද්‍යක්ශකයෙකු හටයි. රඟ දැක්වීම අවසානයේ ඔහු තරුණියට ජනප්‍රිය කලා ක්ශේත්‍රයට පැමිණීමට ඇරයුම් ගෙනෙයි. ඇය විසින් එය බොහොම සතුටින් පිලිගෙන නගරය වෙත පිවිසෙන්නේ පෙම්වතාගේද (සඳ කිඳුරා) ආශිර්වාද මතය. නමුත් කාලය ගෙවෙත්ම ජනප්‍රියත්වය නම් රැල්ල තුල මෙම තරුණියගේ ආත්මය හා තම වටිනාකම් මුදල වෙත ලංසු වන්නේ් අතිශය චපල වූ ලෙසකිනි. ඉතින් මේ බව දැනගන්නට ලැබෙන පෙම්වතාගේ ශෝකී හැඟීම පිලිබඳව ගීතය තුල කථිකා කරන්නට යෙදෙයි.
සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කළා....
සඳ කිඳුරා මිය ගොසිනි. එය ඇත්තෙන්ම මෙම තරුණයාගේ භෞතික මරණයකට වඩා ආත්මීය මරණයක් බව මගේ අදහසයි. කෙසේ නමුත් නාඩගමක් ලෙස සඳ කිඳුරු ජාතකය රඟ දැක්වීමට බොහෝ විට යොදා ගන්නේ පසලොස්වක පොහොය දවසකි. මෙහිදී තරුණයා අවසාන වශයෙන් තම පෙම්වතිය හා සඳ කිඳුරු ජාතකය රඟ දැක්වූ මොහොත සිහි කරනවා වැනිය. එහිදී ජාතක කථාව තුල සඳ කිඳුරා කිඳුරියගේ පතිවත බලෙන් නැවත ප්‍රානය ලැබුවත් සැබැ දිවියේදී ගෙවෙන සෑම තත්පරයක් තුල පවා ඔහුගේ ආත්මය මියදීමට ඇගේ චපල බව ප්‍රමාණවත් වූ සෙයකි. කෙසේ නමුත් ඔහු ඇය වෙත සදා කල් දක්වන දයාව සෙනෙහස, අනුකම්පාව තවමත් නො අඩුය. එය ඇයට නැවත එන ලෙස කරන ආරාධනය තුල තුල වටහා ගත හැක. එසේම ගීතයේ නංගියේ යන ආමන්ත්‍රනය තුල ඔහුගේ වන සංශුද්ධ වූ සිතුවිලි වල ලෙංගතු බව කියා පාන බව මගේ අදහසයි.
ගමේ නාඩගංපොළේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්ට
කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා....
ඔහු හා අතීතයේ දිනක ගමේ නාඩගම් පලෙහි රැඟූ ඇය ඒ පිහිටෙන්ම කොලොම්තොටට ගොඩවන්නට වරම් ලබන්නට විය. එය පසුව කාසි කොල සමඟ ජනප්‍රිය රැල්ල පසුපස හඹා යාමට තරම් කේදනීය වූ බව ගීතය තුල මතු කරන්නේ ඉතාම සුමට අයුරිනි. එසේම එහි කන කෙකිනියක් ගැන කියවෙයි. කන කොකා යනු එතරම් ශුභ පල ගෙනෙන සත්වයෙකු නොවන බවට සිංහල ජන සමාජය තුල මතයක් පවතී. කන කොකෙකුගේ හඬ ලෑම එතරම් ප්‍රිය උපදවන මිහිරි හඬක් නොවෙයි. එලෙසින්ම එය අශුභ පෙර නිමිත්තක් ලෙස ගැනෙයි. මෙහිද එලෙසින් කන කෙකිනියකට උපමා කරන්නේ කොලඹ සිට පැමිනි පෙර කී තරුණියගේ මිතුරියකටය. ඇගේ මේ මිතුරිය ඇය පිලිබඳව සියළු තතු ඔහු වෙත හෙලි කිරීම ඔහුගේ ජීවිතයේ කන කොකා හැඬීමක් වැනිය.
වෙල් දෙණි ඕවිටි පුරා
තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා
ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඩන්නෙ නෑ ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා.......
ගීතයේ මෙම කොටස තුලද මතු කරන්නේ තරුණයාගේ නැතිනම් කින්නරාගේ මනෝ භාවයන්ගේ කඩා වැටීමයි. තරුණිය වෙන්ව ගිය පසු ඔහු ගෙවූ තනිකඩ දිවිය ගැනත් ඇය ගැන මේ මොහොතේ අසන්නට වූ ගතු නිසා ඔහුගේ සිතුවිලි වල අතිශය ශෝඛාකූල ප්‍රකම්පනයත් මේ ඔස්සේ ගලා යයි. එසේම කන කෙකිනිය කින්නරා වෙනුවෙන් නොහඬන්නේ කින්නරාවියගේ ආත්මීය කඩා වැටීම ඊට වඩා ප්‍රභල වූ නිසා වන්නට ඇත. එහිදී ඇතැම්විට කන කෙකිනිය තමන්ගේ ආතමය වෙන්දේසියේ තැබූ මිතුරිය පිලිබඳ වුවමනාවටත් වඩා හඬන්නට ඇතැයි මට සිතෙයි.
මේ සංවේදී දීරඝ කථාව පද වැල් අතර ගොනු කරන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහතායි. සංගීත දායකත්වය සපයන්නේ විශාරද ගුණදාස කපුගේ මහතා විසිනි. හඬ දායකත්වය ජානක වික්‍රමසිංහ මහතා විසිනි.
ගීතය වෙත. 

Popular posts from this blog

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.

මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි. මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි. පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව...

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා.

ප්‍රේම ගීත විරහ ගීත ආදී වශයෙන් කොතෙකුත් නම් ගීත මේ වන විට අප අසා ඇතිද? රසවිඳ ඇතිද? කෙසේ වෙතත් මිනිසෙකුගේ සංවේදී චිත්ත ස්භාවයක් සෘජුවම ස්පර්ශ කල හැකි සාර්ථකම මාධ්‍ය ලෙස මා දකින්නේ ගීතය නම් වූ සියුම් මියුරු පහසයි. තවද ගීතයක රස වින්දනය උපරීම කිරීම සඳහා ගායකයාගේ දායකත්වය හා සංගීතයේ රසමුසුව පමනක් ප්‍රමානවත් වනවා යැයි මා සිතන්නේ නැත. ඇතැම් විට ගීතයේ පද වැලට උරුමකම් කියන කථා මූලය දන්නේ නම් එය තවත් රසය උපරිම කරනු ඇත. එලෙසින්ම පද වැල තුල යෙදෙන උපමා, උපමේය, ව්‍යංගය තුල ගීතයේ රසය ඔප් නැන්වීමට දක්වන්නේ නොමද සහයකි. එක්තරා ගමක පාසල් වියේ පසුවන නව යොවුන් වියේ සිසුවෙක් හා සුසුවියක් වෙයි. ඔවුන් අතර පාසල තුලදීම යම් පෙම් සබඳතාවක් ගොඩ නැඟෙයි. පෙම්වතා ගැන කියන්නේ නම් ඔහු ප්‍රසන්න පෙනුමැති නමුත් යම් යම් අග හිඟ කම් වලින් පෙලෙන පවුලක අයෙකි. පෙම්වතිය සාමාන්‍ය පවුලක ඉගෙනීමෙහි දක්ශ රූමත් තරුණියකි. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ප්‍රේම වෟතාන්තයේ පෙම්වතිය සරසවි වරම් ලබා ගනී. තරුණ පෙම්වතා ඔහුගේ අග හිඟ කම් මැද පාසල් දිවිය හමාර කරයි. ඔහු රැකියාවක් සොයා යයි. ඔහුට ලැබෙන්නේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සමාගමක කම්කරු වෘර්...

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්...... අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත්...