Monday, October 10, 2016

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා


තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා

මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා


කාන්තාවගේ පියයුරු රණ තිසරුන්ට සම කිරීම නිතැතින්ම සාහිත්‍ය තුල සුලභය. එතරම් අපූරු ව්‍යංගයක් ඒ සඳහා නොවනු ඇත. 
සුරත් නෙළුම් කැකුල (අතිශය රත් පැහැති නෙළුම් කැකුල.) වන්ව හදවතට විකසිත වන්නට ඉඩ දෙන්නටයි මේ ආරාධනය. (රත් පැහැය වන් ශෘංගාර රසයට සමීප වර්ණයක් නොවෙයි.)
දුනු දියෙන් මිදී (දුනු දිය යනු දුන්න බැඳි ලනුවය) මදරද ( මද+රද යන්න තරමක් පැහැදිලි කිරීමට අපහසුය. නමුත් ඒ තුල තනිකඩයකුගේ විරහ ගින්න වන් වූ අරුත් වෙයි) ඉතින් මේ තුල ජනිත කරන්නේ දුන්නෙන් මිදුනු හීයක් වන් වූ රාගයේ ගිනිදැල් වන් අරුතක් බව මා අදහස් කරමි. 
ලලිත ලවන (අති දැකුම්කළු මුහුන) සිබ සරන්න කරන්නා වූ සරගී ආමන්ත්‍රනයකි. (රාධා යන යෙදුම තුල ඇය දමිල තරුණියන් වන්නට ඇතැයි සිතමි)

කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල 
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට 
ඉඩහරින්න රාධා


කොලොම් යනු බක් මී මලට සමාන පුෂ්ප දරන්නා වූ සුවිසල් වනස්පතියකි. කොලොම් මලින් මමන (වෑහෙන) මුවරද (මල් පැණි) වලින් වපුල (විසිරී පැතිරුන) කලාපය තුල මංගල යහන් සළුව සෝදා. මේ තුල එක් සොඳුරු පරිසරයක අපූර්වත්වය මනස තුල මවන අතරේම ඊලඟ කොටසින් සුසුම් වලින් යහන් සළුව වියලෙන්නට රාධාට කරන්නා වූ ඇරයුමකි. ඒ තුල මතුව එන්නේ යම් කිසි වේදනාවක ස්වරූපයක් දැයි මා සිත නඟන පැණයකි.

නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි 
සඳුන් කල්ක තවරා


කළිඳු ගං තෙර හා රාධා. මෙය හිංදු සංස්කෘතිය තුල එක් වූ රාධා ක්‍රිශ්නා පුරාවෘතයේ එක්තරා කොටසකි. මේ තුලින් නැඟී එන්නේද කළිඳු ගංඟා අසබඩින් හමා ආ රාධා ක්‍රිශ්නා පෙම්වතුනගේ උනුසුමදෝ මා සිතෙහි පැණයකි. 
ල හෝ්පළු ( අශෝක වෟක්ශයයි) හෙල්මැලි (සුදු නෙළුමයි) "සඳුන් කල්ක තවරා". මේ සියල්ල එක්තරා ආකරයට ශෘංගාරාත්මක ප්‍රසාධණීය හැඟුමක් සිත වෙත කාන්දු කරන්නා වූ යෙදුම්ය. 

ගීතය වෙත.
https://www.youtube.com/watch?v=YYekSYtaGZo

මෙය මා ගීතය වැලඳගත් අයුරින් පමණි. ස්තූතියි...!!

Thursday, October 6, 2016

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ.



මේ ලිපිය ලියන අද දිනය ඔක්තෝඹර් 06 ලෝක ගුරු දිනයයි. ඉතින් මා හට හදවතට ආමාන්ත්‍රනය කලා වූ ගුරුවරුන් වෙනුවෙන්ම රචනා වූ ගීයක් පිලිබඳව ඔවුනට උපහාරයක්ම ලෙසින් මෙසේ සටහන් තබමි.

මෙම ගීතය මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනය කලා වූ සෙඳුරුතම අරුත් පූර්ණ ගීතයකි. මෙහිදී මහින්ද චන්ද්‍රසේකරයන් ගීතය තුල වඩා පුළුල් වූ සමාජ කථිකාවක් අතිශය සියුම් ලෙසින් ස්පර්ශ කරන බව මගේ අදහසයි.


පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

ගීතයේ ආරම්භය ලෙසින් දිග හැරෙන මේ කොටස ගුරුවරයා මුහුන දෙන්නා වූ දුශ්කරතාවයන් ලෙස සරල ලෙසින් හැඟුනද ඉන් එහා ද්වනිතාර්ථයක් ඇති බවක් මා හට හැඟෙයි. වැවක් පොශනය ලබන්නේ වැසි සමයකය. නමුත් වැසි සමය සමඟින් වැවු තාවුල්ල මඩ ගොහොරින් බරිත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ මඩ ගොහොරු මග හරිමින් වැවු තාවුල්ලේ ඔබ මොබ සැරීම ගැමියන්ට වූ අරුමයක් නොවෙයි. ඉතින් මේ තුල ගීතයේ වන ආරෝපනය මේසේ නිරාකරණය කල හැක. "වැසි සමයේ පෝශනය ලබන වැව වන්ව" ජීවන අත්දැකීම් හඹා යන පාසල් සමය තුල "තාවුල්ලේ ඇති වන මඩ ගොහොරු වන්" නරක දේ මගහැර ඉදිරිය කියාපෑ ගුරුවරුන් හෝ ගුරුවරයෙකු අප සැමට වෙයි. මේ එවන් ගුරුවරයෙකු පිලිබඳවය. එවන් වූ ඇදුරානන්ගෙන් සික්ශාව ලදුව සමාජයේ උසස් තැන් වල වැජබෙන ගෝල බාලයන් කොතෙකුත් වන්නට ඇතිද. නමුත් අවාසනාවට  ඉහලට නැඟි ඉනිමඟ අමතක වීම සමාජයේ සුලභ දෙයකි. ඇතැම් විට සමහරෙක්ට තමන් සිප් සතර කලා වූ ග්‍රාමීය පාසලේ නම කීම පවා අවමානයක් වන බව අප අමතක කල යුතු නැත.  එවන් මූසිලයන් උඩු මහලේ වැජඹුනද උතුම් ගුරුවරයාගේ කාර්යබාරය නිමාවක් නොදකී. එතුමන් තව දුරටත් ඊලඟ පරම්පරාව වෙනුවෙන් සික්ශාවන් ලබාදෙයි.

සාමා අමර විකුණති බස් පොළේ කජූ
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

මේ කොටස තුල මහින්ද මහතා ගීතයේ අරුත තුලින් තවත් වෙනම වූ සමාජ ඛේදවාචකයක් මතුකිරීමට උත්සහ දරන සෙයකි. "සාමා, අමර,". පාසල් ජීවිතය ආරම්භයේදීම පෙල පොත් තුලින් අප හමු වූ මේ මිතුරන් දෙදෙනා සැමගේ මතකයේ තවමත් ඇතැයි විශ්වාස කරමි. ඉතින් මේ "කජු විකුණන්නා වූ සාමා අමර" ආරෝපනය තුල එතුමන් මතු කරන්නේ පසල් අවධිය වෙත පා නැඟු දරිද්‍රතාව තුල අසරණ වූ දුප්පත් ලමුන් පිලිබඳව බව මා දරණ අදහසයි. එසේම ඒ පාසල් අවධියටද පලමුව අපට හමුවූ කුමාරෝදය පොතෙහි පිටු ඔවුන් විසින් කජු සමඟ දන්දෙන්නේ උගත මනා ශිල්පය පිල්කඩටම ඇද වැටෙමින් තිබියදී නොවෙයිද?
රන්මසු පට පිළී අබරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් ගීතයේ තුන් වැනි අන්තරා කොටස තුලද අරුත ගෙන යන්නේ තවත් එක් ඛේදනීය අන්තයක් ඔස්සේය. මේ උතුම් වූ ගුරුවරයාට විවාහ පත් වන වයසේ දියනියක් වෙයි. එහෙත් අප ඇදුරානන් රැස් කල වත්කම මිල මුදල් නොවෙයි. එබැවින් ඇයට කන කර, රන් අභරණ අහිමිය. දෑවැද්ද නොහාත් දායාද අහිමි ඇය ගුරු නිවසේම මිලින වී යයි. මේ වන විට ගුරු නිවස කඳුලින් පිරෙන්න අනෙක් කාරනය ඇදුරානන්ගේ ප්‍රිය බිරිඳගේද වියෝව බව ගීතය තුලින් මතුව එයි. එය හදෙහි එක් කරන්නේ සියුම් වූ කම්පණයකි.

ඉතින් ස්තූතියි සැමට.

ගීතය වෙත.
 https://www.youtube.com/watch?v=k5BDCW4Qszw

Tuesday, October 4, 2016

සතර වරම් දෙවු මහ රජ

සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්......

අමරදේව ශූරීන් විසින් ගායනා කරන්නා වූ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත තවත් එක් ආකර්ශණීය ගීතයකි. එහි තනු නිර්මාණයද අමරදේව ශූරීන් අතින් වීම තවත් සුවිශේශී කාරණයකි. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමඟ ගත් කල ගීත‍යේ අරුත මා තුල ඇති කරන්නේ නම් යම් ඝට්ටනයකි. ඒ කෙසේ වෙතත් මේ ගීතයේ හරය සෘජුවම ස්පර්ශ කරමින් පුබුදුවා ලන්නේ දේශානුරාගය හා මුසු වූ ආශිර්වාදාත්මක භාවයන් ය. එලෙසින්ම එය රජ රට ගොවි ගම්මානයක ගොවි පවුලක උපත ලබන්නා වූ බිලිඳෙකු වෙනුවෙන් යැයි උපකල්පනයක් මා තුල වෙයි. සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... සතර වරම් දෙවියන්, සෞභාග්‍ය, සශ්‍රීකත්වය වෙනුවෙන් නිමැවුනු බල සම්පන්න සීවලී යන්ත්‍රයේ පවා සිවුකොන රැකවල් ලා සිටින ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවන නම් සදෙවු ලොව අධිපති දෙවිවරුන් සිවු දෙනා ඔබේ මතකයට එනු ඇතැයි සිතමි. එමෙන්ම සිංහල සංස්කෘතිය තුල පිරිත් පැන් කලස හා පුවක් මල් කිණිත්ත සමඟ ඇති ආශිර්වාදාත්මක සබැඳියාව නැවත කිව යුතු නොවේ. ඉතින් මේ සදෙවු ලොව අධිපති දෙවි වරුන් පිරිත් පැන් ඉසිමින් ආශිර්වාද එක්කරන්නේ රජරට (බත් දෙන රටට) අළුතින් එක් වන ඊලඟ පරම්පරාව වෙනුවෙන් නොවෙයිද? පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා.. පලා පෙති, හංස පියාපත්, මේ සියල්ල සශ්‍රිකත්වය හා අභිවෘදිය පිලිබඳ විශ්වාසයන් සමඟ බැඳි අතිශය උසස් කලා නිමැවුමක් වූ සඳකඩ පහනේ කැටයම්ය. ඉතින් මේ දරුවාගේ පාද පවා ස්පර්ශ ලබන්නේ එහෙවු රටක සංස්කෘතිය සමඟ බැඳි රජ රට අභිමානය නෙවෙයිද. එසේම රාත්‍රී අහසේ පායන බ්‍රහස්පති තාරුකාවේ වන මිනි කැටයකට නොදෙවෙනි කාන්තිය ලෙසින් දීප්තිමත් වන්නේ ස්වර්නමාලී චෙත්‍ය රාජයානන් වහන්සේගේ කොත් කැරැල්ලයි. ඉතින් මේ සියල්ල තුල උත්පන්න කරනුයේ දේශාභිමානය හා ආශිර්වාදාත්මක භාවයන්ය. කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා "මා සතු සියළු ධනය මෙයමැයි." එලෙසින් වදන් දැරූ උතුම් රජූන් උපන් දේශයක් තවත් වේ දැයි වරෙක මා හට සිතෙයි. කෙසේ වෙතත් කලා වැව නම් වූ අනුරපුරයේ මහා දායාදයේ දිය උත්පල (උත්පල = උතුම් ඵල. එනම් කලා වැවේ මහා දියවර) දෝත දරා සිටින්නේ අප්සරාවන් විසිනි. එය මේ රජ රට උපන් දරුවාගේ අනාගතය වෙත කරන්නා වූ අපූරු පිරිනැමීමක් ලෙසින් අරුත් ගැන්විය හැක. වැස්ස වලාහක දෙවියන් වුව ඉසිවර ලෙස මේ පුතු දෙස නෙත් යොමන්නේ රටේ මතු දවස රැඳෙන්නේ නිල් ගොයම පිස එන සුලඟ තුලම වන නිසා නොවේද? ගීතයේ අරුත මෙය වුවත්, "මඩ සොදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය" කියූ වටිනා කම අද කොතැනකද කියා අප අප විසින්ම නැඟිය යුතු පැනයකි. එය එසේ පැණයක් ලෙසම මා ඉතිරි කරන්නම්. ඉතින් ස්තූතියි....!! ගීතය වෙත.
https://www.youtube.com/watch?v=5QqGl8VEfuI