තටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
ඉතින් මෙය සමන්ත පෙරේරා මහතාගේ ප්‍රේමණිය සංගීත තත් අතර ප්‍රභාමත් වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ආකර්ශණීයතම පද වැලකි. අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬ තුල ඊට සපයා දෙන ජීවය අතිශය හැඟුම්බර වේ. කෙසේ වෙතත් එක්තරා අභිනව විවාහකයෙකුගේ (යෝජිත විවාහයක) සංවේදී කථා හරයක් ඔස්සේ ගලා යන පද වැල තුල ගොනු වන්නේ තම විවාහක බිරිඳගේ හිතුවක්කාර හැසිරීමක් පිලිබඳවයැයි මා අදහස් කරමි. බොහෝ විට විවාහප්‍රාප්ත ඇය තම අතීත ප්‍රේමයක සුන් බුන් අතර හිඳිනවා වන්නට ඇත.
තටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙනමේ සොඳුරු පොළොවේ
විවාහය තුල යුවලක් එක් අයෙකු බවට පත් විය යුතුය. එකිනෙකාගේ හැඟීම් තේරුම්ගෙන කටයුතු කල යුතු වේ. එමෙන්ම යම් සීමාවන් තුල රැඳී කටයුතු කිරීම, ප්‍රේමයේ බැඳීමක අනිවාර්ය නියතයක් වේ. ඔහු ප්‍රේම කරන තම ප්‍රිය බිරිඳ ඒ කියන්නා වූ නියතයන් අභිබවා ඔහේ පියා සලා යයි නම් ඔවුන් අතර ඝට්ටනයක් ඇති වීම ස්භාවිකය. කෙසේ නමුත් මේ විවාහක ප්‍රේමවන්තයා ඇයට යථාර්ථතය නැමති මහපොලව මත ඔහුගේ ප්‍රේමයේ ආලින්දයේ නවාතැන් ගන්නට යැයි ඇයට කරන ඇරයුමක සේයාවකි. (ආලින්දය යනු නිවසක ඇති සුන්දරම ස්ථානයයි, ගීය තුලද ප්‍රේම ආලින්දය නම් යෙදුම ඔහුගේ ප්‍රේමයේ සොඳුරු බව මනාවට මතු කරන වග මගේ අදහස වේ)
කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්හීන සුළඟ දිගේ
පෙම්වතා දැඩිව අසරණ ව ඇත. ඇය මේ පියාසලන තෙත සිඳී ගිය ඔහු වෙත අකාරුනික වූ බොල් සිහින සුලඟ කෙතරම් පීඩාකාරී වන්නට ඇත්ද? හියුඩු පිපෙන්නට තරමින් හිත කීරි ගැස්වෙන, සෙනෙහසේ මල් රේණු සැලෙන්නට තරම් රුදු වූ ඇගේ මේ පැතුම් අහස යට කෙසේ නම් ඔහු නිර්ව්‍යාජ ප්‍රේමයක් තමන් සතු කරගන්නද. ඇත්තෙන්ම එය ඔහුට අමිහිරි කටුක සංවේදී අත්දැකීමක් වන්නට ඇත.
නෙළූ පලවැල මග දමන්නද
දෙපා උඩුකුරු
හිසින් බිම හිඳිනා
කුරුළු බිලිඳු
හෙලන කඳුළු
මහමෙරක් යටතනිව මා උන්නා
විවාහය නම් ඔවුන් ආ මඟ සම්මතය තුල නැවත හැරවිය නොහැක. එසේම විවාහ වූ ඔවුන්ගේ කැදැල්ලට දරු පැටියෙකුගේ ආලෝකය ලැබෙන්නටද ඉතා ආසන්නය. නමුත් ඇය වෙතින් උත්පන්න වන ව්‍යාකූල තත්වය නිසා වූ සංවේගය පද පෙල තුල නූපන් දරුවාගේ කඳුළු හරහා තවත් තීව්ර කර මතු කරයි. (දෙපා උඩු කුරු හිසින් බිම හිඳිනා = පුංචි දරු පැටියෙකුගේ හිස යටට පිහිටන කලල රූපී අවස්ථාව මින් මතු කරයි)
එසේ නම් යලි වරෙක මුනගැසෙමු. ස්තූතියි...!!