Wednesday, June 29, 2016

වෙන්වීම, අනිත්‍ය,


බෝ ගසට පෙම් කර

අතු අගින් ගිලිහුන
මහළු බෝ පතකට
නොමැත වරමක් මළුවෙ මියැදෙන්නට

Tuesday, June 28, 2016

පරසිඳු කරලිඇද්ද


පරසිඳු කරලිඇද්ද, දුව කිරුලස පැලැන්ද, කුසුබාසන දේවිය දෝන කතිරිනා.
ඒ ඉතා මෑත දිනකදී නැවත මා හට අසන්නට ලැබුනු ගීතයකි.
ඇතැම් අවස්ථාවන්හිදී නිර්මාණකරනය සඳහා ඉතිහාස කථා වස්තූන් වස්තු බීජ සපයන්නේ ඉතාමත් අපූර්ව ලෙසිනි. අනාගතය සඳහා වර්ථමානය තුල ශක්තිමත් පදනම සපයන්නේද පෙර කී ඉතිහාසය බැවින් එවන් නිර්මාන වල ඇති වටිනාකම අති මහත් බව මගේ අදහසයි. අද මේ පූර්විකාව සපයන ගීතයද එවන් ඉතිහාස කථාවක් කැටි කරමින් රත්න ශ්‍රී ශූරීන් කලකට ඉහතදී රචනා කරනු ලදුව සිහ ශක්ති සංගීත වෘන්දය ජාතික රූපවාහනිය වෙනුවෙන් ගැයුවා වූ තවත් එක් අපූර්වතම ගීතයකි.
ගීතයේ හරය ගැන විමසීමට නම් ඉන් ප්‍රථම ලාංකීය ඉතිහාසයේ බල අරගලය වෙනුවෙන් රාජ්‍ය පාවාදීම්, රාජ්‍ය කුමන්ත්‍රන වලින් පරිපූර්ණ වූ පෘතුගීසි ආක්‍රමණ සමය පිලිබඳ ඉතා කෙටි හෝ විවරනයක් නැවත ලබා ගැනීම වඩා උචිතය.
1505 සිට 1658 දක්වා යැයි ගැනෙන පරංගි සමය ශ්‍රීලාංකීය ඉතිහාසයේ ජන සමාජයේ හා සංස්කෘතියේ විපරීතයක් ඇති කල කාල පරිච්චේදයක් යැයි කිවහොත් එය වැරදි නැත. ඔවුන් ලංකාවට පැමිණි ප්‍රධාන අරමුණු අතර කිතු ධහම ප්‍රචාරය කිරීමද මුල් තැනක් ගන්නා ලදි.
කෙසේ වෙතත් 1521 දී කෝට්ටේ රාජධානියේ සිදුවන විජයබා කොල්ලය හරහා කොටස් තුනකට ඛන්ඩනය වන රාජ්‍ය උදෙසා එහි යාන්ත්‍රනයේ අභ්‍යන්තරයටම අත පෙවීමේ අවස්ථාව පෘතුගීසීන් හට උදා වෙයි. මේ හරහා පෘතුගීසින් තුල යම් ආධිපත්‍යක් අප රට තුල තහවුරු වූ බවට ඉතිහාසය සාක්ශි දරයි. මේ වකවානුවේ කෝට්ටේ තත්වය එසේ වුවද කන්ද උඩරට පවතින්නේ වෙනම රාජ්‍ය පාලනයකි.
කාලයත් සමඟ 1582 වන විට කන්ද උඩරට බලය අල්ලා ගැනීමට සීතාවක රාජසිංහ රජු (එනම් ඛන්ඩනය වූ කෝට්ටේ රාජදානියේ සීතාවක රාජ්‍ය පාලනය කල රජු. "ටිකිරි කුමරු, පලමුවැනි රාජසිංහ රජු" ) සමත් වෙයි. එවකට කන්ද උඩරට රජු වන කරලිඇද්ද බංඩාර ඔහුගේ දියනිය කුසුබාසන දේවිය හා බැන නුවන් වන යමසිංහ බංඩාර සමඟ පෘතුගීසීන්ගේ ආරක්ශාව පතා කෝට්ටේ රාජදානිය වෙත පසු බසින්නට වෙයි. මේ ගමන අතර තුර කරලිඇද්ද බංඩාර රජු අවාසනාවන්ත ලෙස මරණයට පත් වෙන්නට යෙදෙයි. පසුව පෘතුගීසින්ගේ ආරක්ශාව ලබන්නට කුසුබාසන දේවියට දෝන කතිරිනා ලෙසත් යමසිංහ බංඩාරට දොන් පිලිප් ලෙසත් කිතු ධහම වැලඳගෙන භෞතීශ්ම ලබන්නට කටයුතු යෙදෙයි.
මේ පුවතේ එක් අන්තයක් මෙසේ ගලා යද්දී අනෙක් අන්තයේ තවත් විශේෂ චරිතයක් ගොඩ නැගෙන්නට වෙයි. ඒ කොනොප්පු බංඩාරයි. කොනොප්පු බන්ඩාරගේ පියා වීරසුන්දර බංඩාර නම් වෙයි. ඔහු රාජසිංහ රජුගේ කන්ද උඩරට ආක්‍රමනයේදි ඔහුට සහය වූ අයෙකි. පසුව රාජසිංහ රජු විසින් කුමන්ත්‍රනයක් කරවා වීරසුන්දර බංඩාරව මරා දමන්නට වෙයි. ඒ සමග ඔහුගේ පුත් කොනොප්පු බංඩාරද සිය රැකවරනය පතා පෘතුගීසීන් වෙත පලා එන්නට සිදුවෙයි. ඔහුද පෘතුගීසින් වෙතින් භෞතීශ්ම ලබන්නේ දොන් ජුවන් ලෙසිනි. කාලය සමග ඔහු අති දක්ශ සටන්කාමියෙකු වන්නේ සියල්ලන්ගේම පැසසුම් මධ්‍යයේයි.
පසු කලෙක ඔහු විසින් කන්ද උඩරට රාජ්‍ය කරන ඔහුගේ පියාගේ මරණයට වගකිව යුතු රාජසිංහ රජු ආක්‍රමණය කරයි. ඒ සඳහා පෘතුගීසි සහයද ඔහුට හිමි වෙයි. මේ කාලසීමාවට ලඟා වන විට රාජසිංහ රජුගේ පිරිහීම ආරම්භ වී තිබෙයි. ඔහුගේ පාලනය ඒ තරම් බෞද ජනයාට ප්‍රිය මනාප නොවුනු බව සඳහන්ය. යම් බමුනෙකුගේ බස් අනුව යමින් ඔහු යම් තරමක බෞද විරෝධී පිලිවෙතක් ගෙන යමින් උඩරට රාජ්‍ය වංශික පෙලපත් වල කුමරු වරුන් විනාශ කරමින් කලා වූ කටයුතු ඊට හේතු වන්නට ඇත. කෙසේ වෙතත් මේ තත්වයද හමුවේ කොනොප්පු බංඩාරගේ ආක්‍රමනයට කන්ද උඩරට නතු වන්නේ රාජසිංහ රජු නැවත සීතාවකට පසු බස්වාලමිනි.
ඉන් ඉක්බිතිව කොනොප්පු බන්ඩාර විසින් පෘතුගීසි හමුදා පලවා හැර කන්ද උඩරට රාජ්‍යත්වය හිමි කර ගනී. මේ සම්බන්ධව උරන වන පෘතුගීසීන් පෙරො ලොපෙස් සුසා නම් සෙනවියා යටතේ නැවත වරක් කොනොප්පු බංඩාරව ආක්‍රමණය කරයි. මෙහිදී කොනොප්පු බංඩාරගේ තාවකාලික පසු බැසීම හමුවේ පෘතුගීසින් විසින් කන්ද උඩරට රාජ්‍ය පෙලපත් වංශික දෝන කතිරිනා (කුසුබාසන දේවිය,) කිරුල හිමි රාජිනිය ලෙස නම් කරන්නට යෙදෙයි. නමුත් නැවත වරක් කොනොප්පු බංඩාරගේ දක්ශ සටන් කාමීත්වය හමුවේ 1594 දී දන්තුරේ සටනින් පෘතුගීසි බලය විනාශ කර දැමීමට ඔහු සමත් වෙයි. පසුව කුසුබාසන දේවියගේ අතිනත ගන්නා හෙතෙම පලමුවන විමලධර්මසූරිය නමින් කන්ද උඩරට නීති ප්‍රකාරවම රාජ්‍යත්වයට පත් වෙයි. ඉන් ඉක්බිති විමල ධර්මසූරිය රජතුමා ඉතා ධාර්මික ශ්‍රේෂ්ඨ රජෙකු වූ බවට ඉතිහාසය පුරා ලියවී ඇත.
ඉතිහාස කථාව ඉතාම සැකෙවින් එලෙසිනි. එමෙන්ම ගීතයේ හරය ගලා යාමද සුවිශේෂී කොට දැක්විය හැක. එය පෘතුගීසි ජාතිකයෙකුගේ මනසින් කියවෙන සිතුවිල්ලක් ගෙනෙන බව මගේ හැඟීමයි. නමුත් එහි කුසුබාසන දේවිය වෛරයකට පාත්‍ර වන්නේ නැත. සංගීතයද අපූරුව ලෙසින් අරුත හා අනුරූප වන්නේ විශිෂ්ඨ ලෙසිනි. තවද මෙහි ගීතය පූර්ණ වශයෙන් අරුත් ගන්වනවාට වඩා, යෝග්‍ය කොටස් පෙන්වීම වඩා උචිතයැයි මට හැඟෙයි.
පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා .
සෙන්කඩගල රාජදානියේ රජුව සිටි කරලිඇද්ද බංඩාරගේ දියනිය කුසුබාසන දේවිය. ඇය සත්‍ය ලෙසම සෙන්කඩගල කිරුල හිමි කුමරියයි. නමුත් රාජ්‍යයේ බිඳ වැටීම හමුවේ කුසුබාසන දේවියගේ දීර්ග නාමය වෙනුවට පෘතුගීසින්ගෙන් ඇයට දෝන කතිරිනා නම් භෞතිශ්ම නාමය හිමි වෙයි. මේ තුල කියවෙන්නේ සිංහාසනාරූඩ නොවුනත් කන්ද උඩරට රජ කිරුලේ නියම හිමිකාරිය පෘතුගීසීන් වන ඔවුන් හිමි කරගෙන ඇති බවක් යැයි මගේ අදහසයි.
කපිතන් දියෝගුගෙන්
දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
කොණප්පු බණ්ඩාරට
පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද වසන්ත කාලේ
ඇය පෘතුගීසින් සමීපයෙහි ගෙවූ දිවිය පිලිබඳ අදහසක් මේ තුල ඇත. කොන්තය යනු කිතුනු ධහමේ යාඥා සඳහා යොදාගන්නා ඇට මාලයකි.
වාහල ඉලංගමට
ගිය දා දන්තුරේට
අස්පන්තියේ හරඹ දෑහින් දැකලා
රොන්සුණු පුරා ළයට
ළඟ එන වසන්තයට
අලුත් ම මලක් වෙලා පිපෙන්න හිතිලා
වාහල ඉලංගමට, මෙහි ඉලංගම යනු සටන් කලාවකි. අංගම් සටන් යනු අවි ආයුධ රහිත දේශීය සටන් කලාවයි. ඉලංගම් යනු අවි ආයුද සමඟ සිදුකරන්නා වූ සටන් ක්‍රමයයි.
ගායනය - සිහශක්ති
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති